අගමැති දිවුරුම් දෙයි: කැබිනට් මණ්ඩලය පෙර සේ ජී.එල්ගේ තැන සබි්‍රට

0
59

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරේදා (22දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඔහු ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයාය.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් පසු පැය දෙකකට පසු නව රජයේ අමාත්‍ය මණ්ඩලයද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන් අතර ඔවුන් අතරින් විදේශ කටයුතු අමාත්‍යවරයා හැර අනෙක් සියලු දෙනා පැවැති රජයේ අමාත්‍යවරුම වෙති.

පැවැති රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය මහාචාර්ය ජි.එල්. පීරිස් හෙබැවූ නමුත් නව රජයේ එම අමාත්‍යාංශය හිමිවූයේ අලි සබි්‍ර මන්ත්‍රිවරයාටය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්තද, ධීවර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දාද දිවුරුම් දුන්හ.

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධනය.

සෞඛ්‍ය අමාත්‍ය හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කෙහෙළිය රඹුක්වැල්ලය.

මහින්ද අමරවීර කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍යවරයා ලෙසද, විජයදාස රාජපක්‍ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දුද, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ්් පතිරණද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංගද දිවුරුම් දුන්හ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායකද, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකරද, දිවුරුම් දුන් අතර පරිසර අමාත්‍යවරයා ලෙස නසීර් අහමඩ් දිවුරුම් දී ඇත.

රොෂාන් රණසිංහ ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසද, මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද, ටිරාන් අලස් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසද, නලින් රුවන්ජීව ප්‍රනාන්දු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිත අමාත්‍යවරයා ලෙසද එහිදී දිවුරුම් දුන්හ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වූ පිරිස අතර චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමලවීර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හිටපු ඇමැතිවරුද වූහ.

මෙම දිවුරුම් දීමේ අවස්ථාව පැවැති අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ප්‍රදේශයේ රැකවල් දැඩි කර තිබූ අතර මල් පාර, රාජකීය වටරවුමේ සිට ගී්‍රන්පාත් දක්වා මුළුමනින්ම වසාදමා තිබිණි.

ඇතුළත මල් පාරද වසාදමා තිබුණත් අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඉන්ධන පිරවුම්හලට පැවැති ඉන්ධන පෝලිමට මෙම මාර්ගය වසා දැමීම බලපා තිබුණේ නැත.

එම මාර්ගවලට ඇතුළු වූ සියලු දෙනා දැඩි පරීක්‍ෂාවකට ලක් කිරීමෙන් පසු නිවැසියන්, තෙල් පෝලිමේ සිටි වාහනවල පුද්ගලයන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණෙන පිරිස්වලට පමණක් ඇතුළුවීමට අවසර ලැබිණි.

විනීතා එම්. ගමගේ