QR කේතය යටතේ ඉන්ධන ලබාදීම ඇරැඹේ

0
149

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය යටතේ ඉන්ධන ලබා දීම ආරම්භ කරමින් එහි නියමු ව්‍යාපෘති 6ක් කොළඹ සහ ඒ අවට ඉන්ධනහල් තුළ ඊයේ (21දා)  ක්‍රියාත්මක කොට ඇත.

කොළඹ පිහිටි ඉන්ධනහල් 4ක සහ කඩුවෙල හා මාදිවෙල ඉන්ධන පිරවුම්හල් 2ක මෙම ව්‍යාප්තිය නියමු ව්‍යාප්තියක් ලෙස ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

එසේම QR කේතය මෙතෙක් ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එය ලබා ගැනීමටද ICTA ආයතන නියෝජිතයන් සහාය ලබාදී තිබේ.

එසේම මේ සඳහා තෙල් සංස්ථා නියෝජිතයන් හා ජාතික තරුණ සේවා සාමාජිකයන්ගේද සහාය හිමිව ඇත.

මේ අතර ඇතැමුන් වාහන අංක තහඩු  වෙනස් කර නව අංක තහඩු සවිකොටගෙන ඉන්ධනහල් වෙත පැමිණි සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණි.

මෙම නව ක්‍රමය ලබන 25 වැනිදා සිට රට පුරා සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී අදාළ වාහනයේ අවසන් අංකයට හිමි දිනයට පාරිභෝගිකයන් පැමිණ කෝටා ක්‍රමය යටතේ ඉන්ධන ලබාගත යුතු වේ.

ඒ අනුව වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙකත් 6, 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා ස¾දුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා දීම ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.

එසේම ඉදිරි සතියක කාලය ඉන්ධන අවසරපත ක්‍රියාත්මක වන තුරු මෝටර් බයිසිකලයකට උපරිම රු. 1,500ක්ද, ත්‍රිරෝද රථයකට රු.2,000ක්ද සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු.7,000ක උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කෙරේ.

චාමර අමරසූරිය