Game Over ?

0
379

රනිල් වික්‍රමසිංහ ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී අවසන්ය. “එය කෙසේ වූයේද” යන්න පිළිබඳ කතා බොහෝය. ඒ වෙනුවෙන් භාවිත කළ උපාය උපක්‍රම හා උප්පරවැට්ටිද බොහෝය. අවසන් මොහොත දක්වා පාර්ලිමේන්තු සභා ගැබත්, ඉන් පිටතත් තියුණු සටන් පැවැතියේය. ඊට පෙර යටිබිම්ගත සැලසුම් හා මොළ සේදීම් රැසක් තිබුණේය. බලාපොරොත්තු ඇති කිරීම්, ඇමැති තනතුරු හා වරදාන වරප්‍රසාද ගැනද බොහෝ කතා කෙරුණු වග සැලවුණේය. එහෙත් රනිල් දිනන තුරුම මුළුමහත් ජනතාවත් ආණ්ඩුවට එරෙහි බලවේගත් සිතා සිටියේ “රනිල් පරාජයට පත්වී සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතිවේය” කියලාය. විපක්‍ෂයේ බලමුළු ඉතා වෙහෙසකර උත්සාහයක යෙදුණු අතර අවසන් මොහොත තෙක් සටන අත්හැරියේ නැත.

විපක්‍ෂයේ, ආණ්ඩු විරෝධී බලමුළුවේ ප්‍රධාන වගකීම භාරගත් සජිත්ට වෙන කවරදාකවත් නොතිබුණු හිසරදයක් තිබිණි. ඒ රනිල්ට එරෙහිව සජිත් තරගයට දමා කෙසේ හෝ මේ ගේම ගහන්නම ඕනෑය යන තදබල තෙරපුමය.

“රනිල් ජනතාව අතර අවලංගු කාසියක් තමා. ඡන්ද ප්‍රතිඵලයෙනුත් ඒක තහවුරුයි. එයා පරාද වුණෙත්, එකම එක බෝනස් ආසනයට වැටුණෙත් ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසයි. ඒ ප්‍රතික්ෂේප කළේ රාජපක්‍ෂවරුන්ගේ ආරක්‍ෂකයා, ඒ අයත් එක්ක ඩීල් දාගෙන දේශපාලන ගේම් ගහන, ආරක්‍ෂාව සලසගන්න සුරතලා වෙලා හිටපු නිසයි. නිකන්ද රනිල්ව අගමැති කළේ? නිකන්ද වැඩ බලන ජනාධිපති කළේ? නෑ රනිල් හරහා තමයි දැන් ඉතින් රාජපක්‍ෂවරුන්ට ඉතිරි කාලය යහතින් ඉන්න පුළුවන් වෙන්නේ. මේ ටික කාලෙදි රනිල් ඒක හරියටම කරන බව රාජපක්‍ෂවරු දන්නවා. එහෙව් සහතිකයක් ඇති රනිල්ව පරාජය කරලා පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගෙ ඡන්දය ඩලස්ට දෙන්න රාජපක්‍ෂවරු කැමැති වේවිද? ඒ නිසා මේ ගේමෙන් රනිල් දිනන සම්භාවිතාව වැඩියි.”

සජබ ඇතුළු විපක්‍ෂයේ බලමුළුවට එහි ප්‍රවීණයෝ නිතර කියාපෑවේ එම කතාවමය. එහිදී ඩලස් පමණක් නොව සජිත් ඉදිරිපත් කළද දෙදෙනාටම ජන්ද බෙදී යන තත්ත්වයකදී ද පොහොට්ටුවේ වැඩි ඡන්ද ප්‍රමාණයෙන් රනිල් දිනන බව ඇතැම්හු කැට තියා කියාපාන්නට වූහ.

තවත් සමහරු සජිත් නැතිනම් සජබයේ වෙන කවරකු හෝ ඉදිරිපත් කරන්නැයි කියමින් ඉතා තදබල තෙරපුමක් කරමින් හැසිරෙන්නට වූහ. ඒ සමහරු වඩාත් ආවේගශීලීව නිතර හැසිරෙන්නන් වූ නිසා දේශපාලනයේ සැබෑවක් හඳුනා නොගත් එවන් අය මෙල්ල කර ගැනීමට සජිත්ටද බොහෝ වෙහෙස වෙන්නට සිදුවූ බවක් කියැවේ.

“රනිල් එක්ක පෞද්ගලික තරහක් අපට නෑ. රනිල් පරාජය කරනවා කියන්නෙ රාජපක්‍ෂ හොර නඩය පරාජය කිරීමයි. ඔවුන් දේශපාලන වශයෙන් අකර්මණ්‍ය කිරීමයි. මේ රටේ ජනතාව 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නු ජනාධිපතිවරයාත් 68 ලක්‍ෂයක් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේන්තු පොහොට්ටු බහුතරයත් ප්‍රතික්ෂේප කරලා හමාරයි. පාර්ලිමේන්තුවෙන් පිටත ජනමතය එහෙමයි. අපි හිටගන්න ඕනේ ජනතා මතය පැත්තෙයි. අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව විතරක් නොවේ හදවතින්ම අරගලයට එක්වූ සකලවිධ ජනතාවගේ මතයත් රජ කරවන්න ඕන. එහෙම නම් අපි කොහොම හරි මේ පොහොට්ටු මලපුඩුවෙන් රට ගලවා ගන්න ඕන. ඒක ලේසි නෑ. පහසු නෑ. හරිම තියුණු සටනක්. හැබැයි දිනන්න බැරිත් නෑ.”

විපක්‍ෂයේ සටන අතට ගත් ප්‍රවීණයෝ කිහිපදෙනෙක් විවිධ පක්‍ෂවල සිටියේ වුවද නිතර නිතර සියලු සාකච්ඡා හා සම්මන්ත්‍රණවලදී එසේ කියාපෑවේ මෙහි ඇති ගැඹුර පහදා දෙමිනි.

“එහෙම නම් ඩලස් හෝ සජිත් මේ තරගයෙන් ඉවත් වෙලා එක්කෙනෙක් දාමු. එතකොට සජබයේ හා ඒ හා සම්බන්ධ සන්ධානයේ ඡන්දත් සෙසු පක්‍ෂවලින් ස්වාධීන වූ මන්ත්‍රිවරුන්ගේ සහායත් ටී.එන්.ඒ. එකේ වගේම රාජපක්‍ෂවරුන්ට විරුද්ධ මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහායත් පොහොට්ටුවේ මධ්‍යස්ථව හිතන අයගේ ඡන්දත් ගන්න පුළුවන්. එහෙම ගණන් බැලුවොත් බහුතරය අපිටයි. රනිල් මොන ගේම ගැහුවත් රනිල්ව කොයි තරම් උස්සලා තිබ්බත් රාජපක්‍ෂවරු වැටෙනවාමයි. ජනමතය දිනනවාමයි.”

මේ ක්‍රියාන්විතයට පණ දෙමින් මහත් වෙහෙස මහන්සි වී වැඩකටයුතු කළ විද්වතුන් කිහිපදෙනකුගේම අදහස වූයේ එයයි. මේ කතාබහේ අවසන් ප්‍රතිඵලය වූයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයෙන් ඉවත්වීමය. ඒ වෙනුවට ඩලස්ව ඉදිරිපත් කොට රනිල් හා පූර්ණ සටනක් දියත් කිරීමය. සජිත් ඉවත් වීමත් සමඟම රනිල් තිගැස්සී ගිය බවක් තිබුණේය. රනිල්ව ජයග්‍රහණය කළ යුතුය යන රාජපක්‍ෂ බලමුළුවද හෙල්ලුම් කා ගිය බවක් කියැවේ. සටන තීව්‍ර වූයේ මේ හැරවුම් ලක්‍ෂ්‍යයේදීය. මන්ත්‍රිවරුන් අතර සැක සහිත අය කවුරුන්දැයි තෝරා බේරා ගනිමින් ඒ ඒ අය වෙන වෙනමත්, පොදු වශයෙනුත් ගෙන මොළ සෝදමින් විවිධ බලාපොරොත්තු ඇති කොට රනිල්ට ඡන්දය දෙන්නට උනන්දු කරවීම තීව්‍ර වූයේය.

“රනිල් පරාද වුණොත් පොහොට්ටුවත් ඉවරයි. තමුන්ලාගේ දේශපාලනයත් ඉවරයි. ජනමතය මොක වුණත් මේ වෙලාවේ රනිල්ව දාලා ගේම ඉවර කරගත්තෙ නැත්නම් ආයෙ කතා දෙකක් නෑ ලොකු ප්‍රශ්න වැලකට අපට මුහුණදෙන්නට වෙනවා.”

පොහොට්ටුවේ අයිතිකාරයෝ බැව් කියා ගන්නා අය ඉතා තදින් ඇතැමුන්ට අවධාරණය කරන්නට වූ බවට කියැවෙන කතා බොහෝය. මේ අතර ඩලස් දැමීම නිසා නියත වශයෙන්ම පොහොට්ටුවේ හා ශ්‍රී ලනිපයේ ඡන්ද ලබාගෙන සෙසු පක්‍ෂවලද සහයෙන් ඩලස් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ජනතාව අතරම ප්‍රබල මතයක් ගොඩනැඟී තිබුණේය. ඒ බැව් සමාජ මාධ්‍ය බොහෝමයක අපේක්‍ෂාවෙන් පිරුණු වැකි බොහෝ විය. රටේ වෙනසක් ඇතිවන බවට අදහස් පළ වුණේය.

“ඩලස් ජනාධිපති වුණොත් පොහොට්ටුවේ මධ්‍යස්ථ මිනිස්සු විතරක් නෙවේ සෙසු විපක්‍ෂ බලවේගවල උදව්වෙන් ඔහු පත්වුණා කියන ජනමතය රටට ගලා යනවා. ජාත්‍යන්තරය කියන්නෙත් ජනමතය රජයන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදාපල්ලා කියලයි. එහෙම බලද්දි ඩලස් ජනාධිපති වෙලා සජිත් අගමැති වෙලා “සර්වපාක්‍ෂික ආණ්ඩුවක්” හදලා මේ දැවෙන ප්‍රශ්න විසඳගන්න ජාත්‍යන්තරයට ශක්තිමත් පදනමකින් යන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් ණය ආධාර ගන්න ගිය වෙලාවල අපට අමතර වාසියක්, රටේ දේශපාලන ස්ථාවර බවක්, සංහිඳියාවක් තිබෙන බව පෙන්වන්න පුළුවන්”

සජබයේ බොහෝ දෙනා බලාපොරොත්තු සහගතව කීවේ එසේය.

“මේ ඡන්දයෙන් රනිල් දින්නොත් පොහොට්ටුවේ වගේම සජබයෙත් සෙසු පක්‍ෂවලත් දෙදරීමක් ඇති වෙනවා. රනිල්ගෙ ඉලක්කය තමයි සජබය කැඩීම, දෙදරවීම, විනාශ කිරීම. එයා රටේ අනාගතය වෙනුවෙන් එක්වෙන්න කියන්නෙ ඒකයි. මීළඟ අවුරුදු දෙකහමාර ගැටලුවකින් තොරව ආණ්ඩුව කරන්න රනිල්ට ඕනෑ. පක්‍ෂ කැඩුණට එයාට ප්‍රශ්නයක් නෑ”

රනිල් ගැන හොඳින් දන්න පොහොට්ටුවේ ප්‍රබලයෙක් කියන්නට වූයේ එවැනි දෙයකි. එහි අදහස නම් “පොහොට්ටුව කැඩුණත් සජබය කැඩුණත් රාජපක්‍ෂවරු රැකගන්නට රනිල්වම ඕනෑකර තිබේ” යන්නය.

තත්ත්වය එසේ නම් ඩලස් ඉදිරියට දමා සජබය ඇතුළු විපක්‍ෂය කොතරම් සටනක් දුන්නත් ඒ අතර “බැටළු හම පොරවාගත් වෘකයන් සිටී” යන්න සිහිගන්වන ප්‍රතිඵලයක් රනිල් ජයග්‍රහණය කරවීමෙන් දිස්වන බව මේ පිළිබඳව අදහස් දක්වන රටතොට බොහෝ දෙනා කියන කතා බැහැර කළ නොහැකිය.

එසේ නම් මහජන මතය වන්නේ “රාජපක්‍ෂවරුන්ගෙන් තොර සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හරහා රටට යහපතක් උදාකර ගැනීම” වුවද එම අර්ථයෙන් නම් රනිල් ජය ගැනීම එම ජනතා පැතුම්වලට පටහැනිය.

රනිල් හදන්නේ ඉතිරි කාලයම ධුරයේ කටයුතු කරන්නට වුවත් ඔහුට “සර්වපාක්‍ෂික ආණ්ඩුවක්” හදන්නේ නැතිව තවදුරටත් යන්නට බැරිය. එය ඔහු කැමැති, කකුල් කැඩුණු, ඔහුට එකඟ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් නම් එයද හැදෙන්නේ නැති තැනකය. ඒ තියා “පූර්ණ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්” හැදීමත් සිහිනයක් තරම්ය.

රනිල් ස්ථාවර වූ නිසා ඔහු සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් අටවාගෙන යන්නටද පුළුවන. එසේ නොකොට පොහොට්ටු බළඇණිය සමඟ මහ මැතිවරණයක් යළි පවත්වන තුරුම යන්නටද පුළුවන. මේ කෝක වුණත් රට පත්ව තිබෙන බියකරු තත්ත්වයට ඉක්මන් ප්‍රශස්ත පිළියම් නම් ඕනෑය. එය කවුරු රජ වුණත් කළ යුත්තක්මය. ගේම් ගහන්නට හෝ ලිස්සා යන්නට බැරි තැනකය. රනිල්ට හෝ රනිල්ගේ පොහොට්ටු බළඇණියට නොව රාජපක්‍ෂ බලවේගයට හෝ මේවාට එරෙහිව ගේම් ගසන්නට බැරි තරම්ය. ජන බලය පාර්ලිමේන්තුවෙන් පිටත බලවත්ය. ඒ නිසා “ගේම් ඕවර්” කියලා හිත හදාගන්න කවුරුන් හෝ සිතනවා නම් එය සිහිනයක් පමණක්මය.

සජිත් රෝහිත ලියනගේ