ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය ගැන මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

0
921

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමේ සේවාවක් ආරම්භ කර තිබේ.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

ඊට අමතරව ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින්ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.

මෙහිදී ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කරදෙන අතර ස්මාර්ට් දුරකතන නැති අයට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබා ගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබාදෙනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනට ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවාව ලබා ගෙන ඇති බව ය.

රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට අමතරව කළුකඩ මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බිහිවීම නිසා ලැබෙන ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමේ ගැටලුවලට විසඳුම් ලෙස මෙම නව ක්‍රමය හඳුන්වා දී තිබේ.