විශ්‍රාමික හමුදා සෙබළා ඇතුළු නිදන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවේ

0
15

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔල්ලිකුලම් ප්‍රදේශයේ නිදන් හෑරූ සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. මන්මුනේ, ඔල්ලිකුලම් නරසිමර වෛරන් කෝවිල පිටුපස නිදන් හාරන බවට කලුවන්ච්චිකුඩි විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය අයි.පී. තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් යුතු විශේෂ කාර්ය බළකාය නිදන් හෑරු සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. නිදන් හෑරීම් සඳහා භාවිත කළ උපකරණද භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමලත් හමුදා සෙබළකු ඇතුළු අම්පාර, මඩකළපුව, තාලන්කුඩා ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය වේ. අත්අඩංගුවට පත් සිවු දෙනාම මඩකලපුව මහෙස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් විනිසුරු පීටර් පෝල් මහතා නියෝග කළේය.

නිදන් හෑරු ස්ථානය මුළුමනින්ම හාරා බැලීමට පොලිසිය අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටි අතර විනිසුරුවරයා එම අවසරය ලබා දුන්නේය. ඉන් අනතුරුව ඊයේ සවස එම ස්ථානය විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැකෝ යන්ත්‍රය යොදවා හෑරුවද එහි කිසිම නිදන් වස්තුවක් සොයා ගැනීමට නොහැකි වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.

මඩකළපුව – ජේ. ඛාන්