වැඩිපුර ඉන්ධන නොදුන්නා කියා අනුරපුර ඉන්ධනහලක සේවකයන්ට ප්‍රහාරයක්

0
51

තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා නොදුන් නිසා කුපිත වූ පුද්ගලයන් ‍ෙදාළොස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අනුරාධපුර, මිහින්තලා පාරේ යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි අයි.ඕ. සී. ඉන්ධන පිරවුම්හලක සේවයෙහි නියුතුව සිටි සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (20දා) සවස ප්‍රහාරයක් එල්ලකොට ඇත.

පෙරේදා (20දා) සවස 5.50ට පමණ එම ප්‍රහාරය එල්ලකොට ඇත. පසුව එම ප්‍රහාරයට ලක්වූ ඉන්ධන පිරවුම්හලේ සේවිකාව සහ සේවකයා එදින රාත්‍රි මේ පිළිබඳව ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලිසිය ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇත.

සිය යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇති මෙම කණ්ඩායම ඉන්ධන පිරවුම්හලේ හිමිකරු තීරණය කොට ඇති ප්‍රමාණයට වඩා තම වාහනවලට ඉන්ධන ලබා දෙන ලෙසට තර්ජනය කොට ඇත. එම ඉල්ලීම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු මෙම පිරිස බහින් බස් වී අනතුරුව ඉන්ධනහලේ සේවකයන්ට මෙලෙස පහරදී තිබේ.

එම ප්‍රහාරය කළ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් එම ඉන්ධන පිරවුම්හල ඇතුළු අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් මඟින් තම ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට ඉන්ධන සපයාගෙන ඉන්ධන ජාවාරම කරන අය යැයිද මොවුන් අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බවට අනුරාධපුර පොලිසියට තොරතුරු ලැබී ඇත.

අනුරාධපුර – පර්සි කුරුනේරු