රෝගීන් රෝහලට ගෙනයන්න පැය 24ම වාහනය සූදානමින් තැබූ බුද්ධ පුත්‍රයෙක්

0
22

කිතලව, පූගල්ල ප්‍රදේශයේ කිසියම් අයකු හදිසියේ ගිලන්ව කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා විහාරස්ථානයේ කැබ් රිය ලබාදීමට රුවන්වැලිසෑ හිටපු පරිවේණාධිපති කිතලව පූගල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ගත්කතුවර දුටුවැව ලංකානන්ද හිමියන් ඉදිරිපත්ව ඇත.

එහිදී උන්වහන්සේ මේ වනවිට විවිධ ශල්‍යකර්ම සඳහා ගමන්කරන්නන් ඇතුළු විශාල පිරිසකට එසේ සිය වාහනය ඉන්ධනද සහිතව ලබාදීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

උන්වහන්සේ පවසන්නේ සාමාන්‍යයෙන් රාත්‍රි 10 පමණ වන තෙක් අවදිව සිටින නිසා ඒ වනතෙක් ඕනෑම අයකුට එසේ සිය වාහනය ඉල්ලා පැමිණීමට අවස්ථාව සලසා ඇති බවයි. ඉන් පසුව රැය එළිවනතුරාවටත් රෝගීන් වෙනුවෙන් වාහනය ලබාදීමට කටයුතු කළත් එම කාලය තුළ පැමිණෙන්නේ නම් විහාරස්ථ දායක සභා නියෝජිතයකු සමඟින් පැමිණෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ.

ඉකුත් දිනක ඉන්ධන නොමැතිව රෝහල් ගත කිරීමට නොහැකිව ජීවිතයෙන් සමුගත් ජීවිත කිහිපයක් පිළිබඳ මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ දින සිට තමන්වහන්සේ එසේ කටයුතු කරන බවත් දිවා කාලයේ පමණක් කරමින් සිටි එම සද්ක්‍රියාව ඉන්ධන අර්බුදය හේතුවෙන් කුලියාපිටිය නගරය දක්වා කිලෝමීටර 7ක් පමණ ගමන් කිරීමට ත්‍රිරෝද රියක් රුපියල් තුන්දහසක් පමණ අය කරන බව දැනගත් මොහොතේ පටන් දිවා රාත්‍රියෙහිම එය ආරම්භ කළ බවත් පැවැසූහ.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර