රට පුරා ඩෙංගු රෝගීන් හතළිස් දහස ඉක්මවයි

0
95

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසවලින් ඩෙංගු රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවැසීය.

ඉන් සියයට පනහකට වැඩි රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද ලේකම්වරයා සඳහන් කළේය.

බස්නාහිර රෝගීන්ගෙන් අඩකට වඩා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පැවසූ අලුත්ගේ මහතා කොළඹ ඩෙංගු අධි අවදානමක තිබෙන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව, මහරගම, මොරටුව, බත්තරමුල්ල, දෙහිවල, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, බියගම, අත්තනගල්ල, ජා ඇළ, මීගමුව, කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පානදුර, හොරණ, බණ්ඩාරගම, කළුතර නගරය හා ජාතික විද්‍යායතනය ආශි්‍රත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක අධි  අවදානම් තත්ත්වයන් දැකිය හැකි බවද ඔහු කීය.

කාලගුණික වෙනස්වීම් මත ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බැවින් පරිසරය පිරිසුදුව තබා ගැනීමට සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු බවද අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය යටතේ ලබන සඳුදා (25දා) දිනය රට පුරා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එදින සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන තම ආයතන පරිශ්‍ර ඩෙංගු රහිත කලාප බවට පිරිසුදු කරගත යුතු බවත් විශාල ආයතන පරිශ්‍ර කලාපවලට බෙදා පිරිසුදු කිරීම් කල යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත.

අමිත් මධුරංග ගමගේ