මහින්දලා රනිල්ලා කියන්නේ ජනමතයට පස්ස හැරවූ හෘද සාක්‍ෂියක් නැති ද්‍රෝහීන්

0
33

“එළියෙ පරද්දපු රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ පණ දුන්නෙ රනිල්, මේක මොන විගඩමක් දැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක චෝදනා කළේය.

රනිල් කියන්නෙ රාජපක්ෂලාගෙ සුරතලා, අනුප්‍රාප්තිකයා. රනිල් ගැන  පුහු වර්ණනා කිරිල්ල  නවත්තන්න” යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

“මේ කිලිටි, ගඳගහන දේශපාලනය නව පරිවර්තනයක් කිරීමට අවශ්‍යයි. අපි ඒක අනිවාර්යයෙන් කරනවා” යැයිද ඔහු පැවැසුවේ  ඊයේ (21දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

තමන් ජනාධිපති  ඡන්දෙට ඩලස් ගෙනා බව හිටපු අගමැති  නන්‍ෙදාඩවන බවත් මේවා ජනතාව පිළිනොගන්නා බවත් ඔහු කීය.

දිසානායක මහතා මේ බවද පැවැසීය.

 “අපි පොත් සිය ගණන් කියවලා බොහෝ කාලයක් දේශපාලන අත්දැකීම් ලැබුවත් තේරුම් ගන්න බැරිවුණත් දේශපාලනයේ බොහෝ යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තෝරා ගන්න ලැබුණා. පාර්ලිමේන්තුවේදී එය පෙරේදා  හොඳින් පෙන්නුම් කළා. ඉන් තමන් ඉදිරිපිට තියෙන දේශපාලන කඳවුරු මොනතරම් පිළිකුල් සහගත මොන තරම් ජුගුප්සාජනකද මොන තරම් අපරාධකරුවන් ඉන්න දේශපාලන කඳවුරක්ද කියලා ඔබ හිතන්න. රනිල් – -මහින්ද කඳවුර පෙන්නුම් කළා කවර කඳවුරක්ද කියලා.

 පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට විශාල ඡන්ද ප්‍රමාණයක්  ලබාගන්නටත් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමටත් ප්‍රධාන   හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය. මොවුන් මැතිවරණ වේදිකාවේ ගෙනහැර දැක්වූයේ මහ බැංකුවේ මහ මොළකරුවට දඬුවම් දෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වගකීම ගන්න ඕනේ රනිල් කියලා. ඒ වගේම  ඔබට මතක ඇති පාස්කු ප්‍රහාරයෙ ප්‍රධාන චූදිතයා ලෙස රනිල් අධිකරණයට ගෙනෙන බවත් රාජපක්ෂලා එදා කිව්වා.

ඒක රාජපක්ෂලාගේ ජයග්‍රහණයට හේතු වුණා. හම්බන්තොට වරාය විකුණද්දී විශාල විරෝධයක් පළ කළා. වික්‍රමසිංහ වෙනුවට ‘වික්කමසිංහ’ කියලයි ඒ දවස්වල රනිල්ට කිව්වේ. ජාත්‍යන්තර ස්වෛරී බැ¾දුම්කර හරහා ණය ගන්න පටන් ගත්තා. ඩොලර් බිලියන 3.5ක් තිබූ ස්වෛරී බැ¾දුම්කර විකුණා ගත් ණය  රනිල් ආවට පස්සෙ (2015 සිට 2019) දක්වා කාලය තුළ ඩොලර් බිලියන 12ක් දක්වා වැඩි කළේ රනිල්. ඒ වගේම ණය උගුලක රට හිර කළ ප්‍රධාන කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ.

 ඒ ප්‍රතිවිරුද්ධ යැයි පෙන්වූ පක්ෂ කඳවුරු දෙක අද පාර්ලිමේන්තුවේ එක් වෙනවා. ජනාධිපති ලෙස රනිල් පත් කරගන්නට මන්ත්‍රිලා ඡන්දෙ දෙනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද? මොන විගඩමක්ද? මෙවැනි මඩ ගොහොරුවක් වුණු දේශපාලනයක් අපිට අවශ්‍යද? ඔබ ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න පාර්ලිමේන්තුවේ ඡන්දෙ දෙනවා මෙම මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම.

ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමත් හරියට නයි – මුගටි ගහගෙන යද්දි බේරෙන්න එකම මුගුරකට එකම කඳකට දෙගොල්ලම නඟිනවා වගේ. නයි – මුගටි කඳවුරක් ඒක. ඒ වගේමයි මේ පාර්ලිමේන්තුව හැමදාම තීරණාත්මක වෙද්දි මන්ත්‍රිවරුන් අතුරුදන් වෙනවා. දුරකථන ඇමැතුම්වලින් මඟහරිනවා. නිවෙස් හැර යනවා.

හෝටල්වල පදිංචිකරුවන් කරනවා. මිලදී ගැනීම්, වරප්‍රසාද දියත් වෙනවා. මේ අය පෑලියගොඩ මාළු මාකට් එකේ කුණුවෙච්ච මාළු වගේ එහෙට මෙහෙට විකිණෙන මිනිස් කඳන්. විශාල ජන නැඟිටීම් වූ පහුගිය කාලේ දියත් කළේ මොකක් වෙනුවෙන්ද? මේ අප්‍රසන්න දේශපාලන පොරපිටියට එරෙහිවයි. මේ අප්‍රසන්න දේශපාලනය පිරිසුදු දේශපාලන පොර පිටියක් කරන්න ඕනේ කිව්වා. අපි වගකීමෙන් කියනවා එහෙට මෙහෙට විකිණෙන, පනින මිනිස් කඳන් වෙනුවට මිනිසුන්ගේ අදහස් සංවාද  ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ තැනක් බවට මෙම පාර්ලිමේන්තුව පත් කරන බව. ඒක කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ඒ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.

ඒ වගකීම අපි භාරගන්න ලෑස්තියි. අපි පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තීන්වලට තීන්දු තීරණ ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් වගකියන දේශපාලනයක හැමදාම  නිරත වුණා. ඒ ගැන අපිට සන්තෝෂයි. මේ කිලිටි, ගඳගහන දේශපාලනය නව පරිවර්තනයක් කිරීමට අවශ්‍යයි. අපි මේ ජනතාවට හොඳ ආණ්ඩුවක් තනා දෙන්නට මැදිහත් වෙනවා. දේශපාලන පරිවර්තනයක් කිරීමට එක්වන ලෙස අපි ඉල්ලනවා. දෙවැනි කාරණාව විශාලතම විරෝධය තිබුණේ රාජපක්ෂ කඳවුරට එරෙහිව. රාජපක්ෂලා කඳ පණුවෝ වගේ. අපේ රටේ ආර්ථිකය, දේශපාලන අයිතීන් මුළුමනින්ම විනාශ කළේ රාජපක්ෂලා. ගෝඨාභය අන්තිමට  හැරෙන්න වුණා ජනතා විරෝධයන් ඉදිරියේ මහින්ද රාජපක්ෂට හමුදා කඳවුරුවල ඉන්න සිද්ධ වුණා.

බැසිල්ට ගුවන්තොටුපොළෙන් යන්නවත් බැරි වුණා. නාමල් ඇතුළු පවුලේ අයට එළියට බහින්න බැරි වුණා. ඒ ජනතා නැඟිටීම්වල ප්‍රතිඵලයක් වශයෙන්. හැබැයි පාර්ලිමේන්තුවේ සිදු වූ දේ නිසා රාජපක්ෂ කඳවුර යළි නැඟිටීමට සමත්වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමෙන් ඉවත් කරන්නත් මහින්ද අගමැතිකමෙන් ඉවත් කරන්නත් අරගලයට පුළුවන් වුණා. හැබැයි තවම  මේ වෙලාවේ රාජපක්ෂවරු අතේ මේ පාර්ලිමේන්තුව තිබෙන්නේ. ඒ වගේම තමන්ට ජනාධිපති, අගමැති කෙනෙක් ඔවුන්ට පත් කරගන්නට තාම පුළුවන්. ඒ නිසයි අපි දිගටම අවධාරණය කළේ ගෝඨාභය – මහින්ද එළවීමෙන්  පමණක් පලක් නැහැ කියලා. අනිවාර්යෙන්ම ඡන්දයක් තියන්න ඕනෑ කියලා. පවුලක්, කඳවුරක් පරාජය කරලා ඉවරයි. හැබැයි රාජපක්ෂලාගේ භූතාත්මය තමයි රනිල්. රාජපක්ෂගේ ආරක්ෂකයා, අනුප්‍රාප්තිකයා නියමුවා රනිල්. රනිල් ජනාධිපති කියලා පාර්ලිමේන්තුවේදී තහවුරු කරපු ගමන් මා  දැක්කා රනිල්ගේ ජයග්‍රහණය ගැන  උද්දාමයට පත්වුණේ බැසිල්ගේ සමීපතම කවය.

රනිල් යනු බැසිල්ගේ නිර්මාණයක්. ඒ වගේම රාජපක්ෂ කඳවුර තීරණාත්මකව පරාජය කරන වගකීම් අපි භාර ගන්න කැමැතියි. එහෙම නැතිව ඩලස් අලහප්පෙරුම වගේ ලාවට කඳවුර ආරක්ෂා කරගනිමින් යන දේශපාලන ව්‍යාපෘතියක් නෙවෙයි අපිට තියෙන්නේ. රට ඇතුළේ පරාජයට පත් කළ රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ දිනවනවා. මොන දේශපාලනයක්ද මේ? මේ පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය කෙරෙන්නේ නැහැ. රාජපක්ෂලා අවලංගු කාසි වගේ මේ දේශපාලනය තුළ. නව පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවෙන් අපි සටන් ආරම්භ කරනවා. හැමෝටම ආරාධනා කරනවා මේ සටනට එකතු වෙන්න කියලා.  රාජපක්ෂලා බූවල්ලෝ වගේ හැමතැනම අඬු දික් කරලා අල්ලගෙන තියෙන්නෙ. ජනාධිපති ඉඳලා තානාපතිකම් දක්වා රාජපක්ෂලා බූවල්ලා වගේ අඬුු විහිදාගෙන තියෙනවා. අදත් රාජපක්ෂ බූවල්ලාගේ ශක්තිමත්ම අණ්ඩ තියෙන්නෙ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුව විසුරුවා නව ජනවරමක් වෙනුවෙන් අපි සටන් කර ඒ අවසන් බූවල්ලාගේ අණ්ඩත් කඩලා දානවා.

ගෝල්ෆේස් තරුණ අරගලයේ විශාල හඬ වුණේ වංචාවට, දූෂණයට, මේ දේශපාලන සංස්කෘතියට එරෙහිවයි. අපේ සල්ලි හොරා කෑවා ඒවා දීපල්ලා, හොරුන්ට දඬුවම් දීපල්ලා කිව්වා. රාජපක්ෂලාගේ හොරකම් අපි ඇති තරම් හෙළි කරලා තියෙනවා.  ඇමරිකාවෙ, එංගලන්තෙ පවා මේගොල්ලන්ට එරෙහිව මහා අධිකරණවල නඩු පවරා තිබෙනවා. ච්බාදර් පේපර්ස්වලින් ඒවා එළියට ආවා. 2019 බැ¾දුම්කර ගනුදෙනු ගැන ඇතුළු වංචා අපි හෙළිකළා. හැබැයි 2022 ඒ රාජපක්ෂලා, රනිල්ලා එකතුවෙලා ජනතාවට කොකා පෙන්නුවා. රනිල් එකක් තියාගෙන කප් එකක් ගැහුවා කියා රනිල් ගැන වර්ණනා කරනවා. හැබැයි  රනිල් කියන්නේ කුණු වූ මිනිස් කඳක්. මේ හොරුන්ට එරෙහිව අපි පාලනයක් අනිවාර්යයෙන්ම ගොඩනඟනවා. හොරු, රටේ මංකොල්ලකරුවන් දේපළ විනාශ කරපු අය අපි අධිකරණය ඉදිරියට ගේනවා. ඒ වගේම ජනතාවාදී පාලනයක් අපි ගොඩනඟන බවට ජනතාවට සහතික කරනවා. මේ ආර්ථික කඩාවැටීම තීව්‍ර කළේ ගෝඨාභයයි, රනිලුයි දෙන්නම මැදිහත්වීමෙන්. අද රටේ සමස්ත ව්‍යසනය පිටුපස සිටින්නේ රාජපක්ෂලයි, රනිලුයි. ආර්ථිකය නව දිශාවකට පරිවර්තනය කරන සටනක් අප ඉදිරියේ තිබෙනවා. රනිල්ට මේ ආර්ථිකය නව මාවතක් ගැනීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

 ඒ වගේම අද වෙද්දි  රනිල් හමුදාව පිළිබඳ පුදුම කැක්කුමක් ඇති කරගෙන තියෙනවා. තුවාල වූ සොල්දාදුවන් බලන්න රෝහල්වලට යනවා. ඒ වගේම අපි දැක්කා හමුදාවේ, පොලිසියේ නිලධාරීන් ළඟට ගිහිල්ලා ඔවුන්ට ස්තුති කරනවා. ඒ ඡායාරූපවලින් මට නම් පේන්නේ අහම්බෙන් සිදු වූවක් නොවෙයි. ඒක රනිල් වික්‍රමසිංහගේ සෙට්-අප් එකක් කියලා මට නම් පේන්නේ. හමුදාවට කරන විශාලම අපරාධ කළේ රනිල්. අද ඔහු කල්පනා කරනවා ඔහුගේ රැකවරණය තියෙන්නේ හමුදාව ඒ මර්දනය අතේ කියලා. බොරු ළෙන්ගතුකම පිළිසඳරවල් කරමින් ව්‍යාජ රංගනයක රනිල් නිරත වෙලා තිබෙනවා.

රනිල් බලයට ආපු ගමන් හදිසි නීති, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා. විවිධ මර්දන අණපනත් ගැන දැනටමත් සාකච්ඡා කරනවා. ඒ වගේම පරණ නඩු ෆයිල් එළියට දාලා අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගන්න රනිල් සූදානම් වෙනවා. රාජපක්ෂගේ කඳවුරේ සුරතලා රනිල්. රාජපක්ෂ කඳවුර සන්තර්පණය කරන්න රනිල් විවිධ මර්දන නීති ක්‍රියාත්මක කරනවා. ඒකයි හමුදාවට විශාල ළෙන්ගතුකමකුත් පාන්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, සටන් වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කරන්න රනිල්ට ඉඩ නොදෙන බව අපි අවධාරණය කරනවා.

 ඒ වගේම ආකාර දෙකක දේශපාලනයක් අපට තිබෙනවා. පළමුවැනි එක මේ  මජර දේශපාලන පොරපිටිය සුද්ද කිරීම. ඒ වගේම රාජපක්ෂ පවුල පරාජය කිරීම. ඊට අමතරව වංචා, දූෂණ  මර්දනය නැවැත්වීමටත් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාව මොකක්ද කියලවත් නොතේරෙන පුද්ගලයන්ට මේ රට ගොඩනඟන්න බැහැ. වැනෙන ප්‍රතිපත්තියක් උද්ගතවන  අවස්ථාව ගැනවත් හැඟීමක් නැති අයටත්  රට පාලනය කරන්න බැරි බව කියන්න ඕනෑ. ජූලි 24 අපි අපේ දැක්ම ගැන පුරා සම්මන්ත්‍රණ මාලාවක් අරඹනවා. එය මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගන්නවා.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

අවුරුද්දක් පමණ කාලයක් තුළ ජනතාව ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගත වී තවත් තීව්‍ර කරමින් ගෙනගියා. ඒ සියලු අරගලවල ප්‍රතිඵල ආපසු හැරවූ බව පැහැදිලි වුණා. ගොවි ජනතාව, ගුරුවරු, ධීවර ජනතාව අවුරුද්දක් පුරා ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගත වී තීව්‍ර කිරීමෙන් හිටපු අගමැති ඉල්ලා අස්වුණා. කැබිනට් එක කිහිප වතාවක් සංශෝධනය කෙරුණා. අලුත් අගමැතිවරයෙක් පත්වුණා. බැසිල් රාජපක්‍ෂ ඉල්ලා අස්වුණා. මේ සියල්ල අවසානයේ නැවත පොහොට්ටු පක්‍ෂය හිටපු තැනටම ගෙනාවා. ජාතික ජන බලවේගය වටා සියලුම ජනතාව එකතු වීමෙන් තොරව පවතින අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. මේ අර්බුදය උග්‍ර වෙනවා වෙනුවට එයට විසඳුම් දීම සඳහා මැදිහත් වන අතර ඉච්ඡා භංගත්වයට පත් තරුණ පරපුර මේ රට නැවත ගොඩනැඟීම කෙරෙහි මූලික වශයෙන්ම පෙළගැස්විය යුතුයි. එසේ නොවුවහොත් රට ගොඩනඟන්න බැරි තත්ත්වයටම අගාධයට වැටීමේ අනතුර තිබෙනවා.

අනුරාධා හේරත්