පෞද්ගලික බස් රැසක් අද සිට ධාවනයෙන් ඉවත් වීමේ තීරණයක

0
93

පෞද්ගලික බස් බොහොමයක් අද (22දා) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කරන බවත් දෛනිකව ධාවනය වන බස් රථ සංඛ්‍යාව මගී ප්‍රවාහනයට කිසි විටකත් ප්‍රමාණවත් නොවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවැසීය.

ලංගම ඩිපෝ මඟින් ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා නොදීම හා ඉන්ධන ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් තවමත් සකසා නොමැති නිසා මෙම තීරණය ගනු ලැබූ බව ප්‍රියන්ජිත් මහතා කීය.

බස් රථ විශාල සංඛ්‍යාවක් ඊයේ දිනයේ ධාවන කටයුතු සිදුනොවුණු අතර අද දිනය පුරාමත් දෛනිකව ධාවනය වන බස් රථ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවන වන බවත් ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් හා ලංගම සභාපතිවරයා දැනුවත් කර ඇති බවත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබූ බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසුවේය.

ඉන්ධන ලබා ගැනීමට ලංගම ඩිපෝ පෝලිම්වල රැඳී සිටින බස් හිමියන් සඳහා ඉන්ධන නොලැබෙන අතර සිපෙට්කෝ, අයි.ඕ.සී.          පිරවුම්හල් මඟින් ද ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු පැවැසීය.

මෙවැනි තත්ත්වයක් හමුවේ බස් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවත් මගීන් අනාරක්ෂිතව ගමන් ගන්නා බවත් මේ සම්බන්ධව අදාළ බලධාරීන් නිසි වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන