පාර්ලිමේන්තුවේ පොහොට්ටු හොරු ටික එකතු වෙලා රනිල් ජනාධිපති කළා

0
26

“සමහරු කියනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා කියලා. මම වගකීමෙන් කියනවා සමගි ජන බලවේගය මන්ත්‍රිවරුන් රනිල්ට ඡන්දය දුන්නේ නැහැ. මන්ත්‍රිවරුන් 63ක් ඉඳපු විපක්ෂය 82ක් දක්වා වැඩි වුණා” යැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය  හමුවේදී ඔහු මෙසේ කීය.

මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එතුමාට අපි සුබ පතනවා රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා. අපි සමගි ජන බලවේගයත්, සමගි ජන  සන්ධානයත් විපක්ෂය විධියට සහාය දෙනවා. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් රටේ ජනමතය පෙන්නුවේ නැහැ. අද මේ රටේ ජනමතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ නැහැ. ජනතාව ජනාධිපති ගෝඨාභය පැන්නුවා. ගෝඨා නියෝජනය කළ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් තමයි පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ. නමුත් අරගල කරලා පෙළපාළි ගිහින් ජනතාව කිව්වේ හොරු පන්නන්න කියලා. එහෙත් පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික එකතු වෙලා රනිල් පත් කළා. ජනතාව බලාපොරොත්තු වුණේ පිරිසුදු දේශපාලන ගමනක්. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් දූෂණ චෝදනා නැති ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාත් ඉදිරිපත් වුණා. ඡන්ද ගන්න අපේ පක්ෂය සත පහක් වියදම් කළේ නැහැ.

රනිල්ට බහුතරයක් ඡන්දෙ දුන්නෙ පිච්චුණු ගෙවල් හදාගන්නත් වාහන පර්මිට් එක ලබාගන්නත් සහ තවදුරටත් මන්ත්‍රි ධුරය පරිස්සම් කරගන්නත්.

ප්‍රධාන විපක්ෂය විධියට අපි ආණ්ඩුවට කරදර කරන්නේ නෑ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ දිහා බලන් ඉන්නවා. පෝලිම්වල මිනිස්සු දුක් විඳින විට ආණ්ඩුව කොමිස් ගහනවාද කියලා බලන් ඉන්නවා. අපේ ආණ්ඩුවක් ආව නම් අපි බලාපොරොත්තු වුණේ අමාත්‍ය මණ්ඩලය පහළොවකට සීමා කරන්න. රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා නොදෙන්න අපි එකඟ වුණා. පත්වෙන කැබිනට් ඇමැතිවරුන් වාහන, වැටුප් නැතිව වැඩ කරන්න එකඟ වුණා. අපි විපක්ෂයේ කාර්යභාරය රට ගොඩනඟන්න අවශ්‍ය සහාය දෙනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ආදර්ශමත් තීරණයක් ගත්තේ. එය මහා සංඝරත්නය ඉල්ලීමට අනුවයි. ඔහු අඩියක් පිටිපස්සට ගත්තා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා නම් අපි සහාය දෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. ඒ වගේම තමයි රන්ජන් රාමනායක මහතා නිදහස් කරන බව කියනවා. අපි දැනටත් ඉල්ලන්නේ රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්න කියලා. අරගලය මර්දනය කිරීම කිසි විටෙකත් අපි අනුමත කරන්නේ නැහැ. අරගලය නිසා තමයි ජනතාව ප්‍රතික්ෂේප කරපු අයෙක් ජනාධිපති විධියට පත්වුණේ. ඉතාමත් ඉක්මනින් මැතිවරණයක් තුළින් රටේ මත පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

අපි රටේ ජනතාව ඉල්ලපු දේ ඉටු කළා. ජනතාව ඉල්ලුවේ සියලුදෙනා එකතු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වංචා දූෂණ නැති රජයක් හදන්න සහාය දෙන්න  කියලා. ඒ වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශාල පරිත්‍යාගයක් කළේ. එතුමා මුල ඉඳන්ම කිව්වේ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන බවයි. එය පක්ෂය ඒකමතිකව ඉල්ලීම් කළා. හැබැයි රටේ ඉල්ලීමට මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, කාදිනල්තුමා ඉල්ලුවා එකතු වෙලා ගමනක් යන්න කියලා. ඒ අනුව අපි ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දෙන්න කටයුතු කළා. අපි ඒ පූර්වාදර්ශය ලබාදුන්නා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්නේ 2020දී රාජපක්ෂ කුක්කෝ රාජපක්ෂ ගැත්තෝ ටිකක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන

අද ජනමතය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහ පොළොවේ මතය රාජපක්ෂවරු නැති වංචා දූෂණ නැති අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒ වගේම නව දේශපාලන ප්‍රවාහයක්. නව දේශපාලන ශිෂ්ටාචාරය වෙනුවෙන් ජනතාව පාරට ඇවිත් කඳුළු ගෑස් කාලා කිව්වේ මේ යන මාවත වෙනස් කරන්න කියලා. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රිවරු ජනතා ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්නේ නෑ.

නිර්මාණි ගුණරත්න