පාන්දර ගෙට පැන්න හොරා නිවැසියන්ගේ පහරදීමෙන් අවසන් ගමනේ

0
29

බළන්ගොඩ කිරිඳිගල ප්‍රාදේශයේ ඇති නිවෙසකට ඊයේ (21දා) අලුයම අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයකුට නිවැසියන් කළ පහරදීමක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ බළන්ගොඩ මුගුනමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඊයේ (21දා) අලුයම 2.30ට පමණ මොහු එම නිවෙසේ ජනේලයකින් රිංගා නිවෙසට ඇතුළු වී තිබෙන අතර එම අවස්ථාවේදී නිවැසියන් ඔහුට පහර දී ඇති බවට පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පහරදීමෙන් පසු නිවැසියන් මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසියට දැනුම් දී ඇති අතර ඔහු සුවසැරිය ගිලන් රථයෙන් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් මියගොස් ඇති බව පොලිසිය කියයි.

ඝාතනය කළ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ අපරාධ කොට්ඨාසයේ නිලධාරි පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. ඝාතනය සම්බන්ධයෙන් එම නිවෙසේ පදිංචි සිටි සැමියා, බිරිය සහ බිරියගේ මවුපියන් බළන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ජයතිස්ස, උප පොලිස් පරීක්ෂක සන්නස්ගල, උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, කොස්තාපල් පෙරේරා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බළන්ගොඩ _ නලින්ද වලේබොඩ,

කහවත්ත – එල්. නිරෝෂන