නුවරඑළියේ වෙළෙන්දෙකුට 30,000ක දඩයක්

0
26

පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට තිබූ ආහාර ද්‍රව්‍ය මී මල මූත්‍රා සහිත ස්ථානයක ගබඩා කර තිබූ නුවරඑළිය නගරයේ ව්‍යාපාරිකයකුට රුපියල් 30,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිළිණ එම්. පීරිස් මහතා ඉකුත් 20දා නියෝග කළේය. එයට අමතරව සති දෙකක් ඇතුළත එම ගබඩා කාමරය පිළිසකර කර නාගරික සෞඛ්‍ය නිලධාරීන්ට පෙන්වා අනුමැතිය ලබාගන්නා ලෙසද නියෝග කළ අතර අත්අඩංගුවට ගෙන තිබූ කිලෝ 800ක පමණ ආහාර ද්‍රව්‍ය විනාශ කරන ලෙසටද නියෝග කළේය.

නුවරඑළිය මහ නගර සභාව වෙත ලද පැමිණිල්ලකට අනුව එහි සෞඛ්‍ය නිලධාරීන් විසින් කළ වැටලීමකදී මෙම අපිරිසුදු ආහාර ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.

නුවරඑළිය නගරයේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ ගබඩාවෙහි මෙම ආහාර ද්‍රව්‍ය රැස් කර තිබිණි.

මහජනතාවට අලෙවි කිරීම සඳහා එසේ ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය වන කරවල, ටින් මාළු, උඳු පිටි, සූකිරි, මිරිස්, තුනපහ, රටඉඳි වැනි දෑ තිබූ අතර ඒවා මී මල මූත්‍රා සහිතව ඉතා අපිරිසුදු තත්ත්වයෙන් තිබිණි. ඒ හේතුවෙන් කිලෝ 800ක පමණ වන ආහාර ද්‍රව්‍ය නාගරික සෞඛ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන වෙළෙඳසල් හිමියා අධිකරණයට ඉදිරිපත් කළේය.

නුවරඑළිය – චන්ද්‍රසිරි මහගම