නිවැරදි එල්ලයට පන්දුව පතිත කළේ ප්‍රභාත් ජයසූරිය පමණයි

0
60

පාකිස්තානය සමඟින් පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දැක්වූ අසාර්ථකත්වය එම තරගයේ පරාජයට මූලිකවම හේතුවූ බව ශ්‍රී  ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානය සමඟින් පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ ධනංජය මෙසේද කියා සිටියේය. “ශ්‍රී  ලංකා පිලේ පරාජයට මූලිකවම හේතුවූණේ පළමු ඉනිමේ ලබාගත් අඩු ලකුණු සංඛ්‍යාවයි. කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිතිකරණයේ යෙදීමේදී ගාල්ල තණතීරුවේදී ලකුණු 350ක් හෝ 400ක් ලබා ගත යුතුයි. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී සාර්ථක වෙමින් හොඳ ඉලක්කයක් පාකිස්තානුවන්ට ලබා දුන්නත් අපි සිතූ තරම් පන්දුවෙහි දඟ කැවීමක් දැකගැනීමට හැකි වුනේ නැහැ. එමෙන්ම අපි නොසිතූ ලෙස ඔවුන් හොඳින් පිතිකරණයේ යෙදුනා.”

ඕස්ට්‍රේලියානුවන් පරාජය කිරීමට හැකි වීමෙන් අනතුරුව මෙම තරගයෙන් අනපේක්ෂිත පරාජයක් උරුම වීම කණ්ඩායමට කෙසේ බලපානු ඇත්ද යනුවෙන් යොමුවූ පැනයට පිළිතුරු සැපයූ ධනංජය ද සිල්වා “ඕස්ට්‍රේලියානුවන් සමඟින් ක්‍රීඩා කළ දෙවැනි තරගයේදී තණතීරුවෙහි සහ මෙම තරගය ක්‍රීඩා කළ තණතීරුවෙහි විශාල වෙනසක් පැවතුණා. සාමාන්‍යයෙන් ගාල්ල ක්‍රීඩාංගණයේදී 4 වැනි සහ 5 වැනි දිනයේදී පිතිකරුවන්ට කිසිදු වාසියක් ලැබෙන්නේ නැහැ. එසේ වුවත් මෙම තරගයේදී යොදා ගත් තණතීරුව පිතිකරුවන්ට විශාල වාසිසහගත තත්ත්වයක් ඇතිකරනු ලැබූවා. දඟ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් තණතීරුව මඟින් ලබා දුන්නේ නැහැ. තවද අපි මෙම තරගයට එක්වුණේ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟයි. එයට හේතුව වුණෙත් සිවුවැනි සහ පස්වැනි දිනයන්හිදී ගාල්ල තණතීරුව දඟ පන්දු යවන්නන්ට විශාල සහායක් දැක්වීමයි. කෙසේ වෙතත් තරගය අවසන් අදියරට ළඟා වීමේදී තණතීරුව පිතිකරුවන්ට සහාය දැක්වීමක් සිදු කරනු ලැබූවත් කණ්ඩායමක් ලෙස අපි මෙහිදී එතරම් වැරදි සිදු නොකළ බවයි මාගේ හැඟීම. උඩපන්දු කිහිපයක්ම ගිලිහී ගියා. ඒ ගිලිහී ගිය උඩපන්දු රැකගත්තා නම් මෙයට වඩා තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූ බවත් මා සිතනවා. කෙසේ වෙතත් මෙම ලද පරාජයෙන් කණ්ඩායමේ මානසිකත්වයට බලපෑමක් එල්ල කරන්නේ නැහැ. එදා දිනයේදී හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායම ජයගත්තා” යනුවෙන් කියා සිටියේය.

පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වන අයුරින් පන්දු රකින්නන් ස්ථානගත නොකිරීම පිළිබඳව ද මෙහිදී යොමුවූ පැනයට පිළිතුරු සපයමින් ශ්‍රී  ලංකා මැදපෙළ පිතිකරුවා කියා සිටියේ මෙවැන්නකි. “මෙම තරගයේදී නිවැරදි එල්ලයට සෑම අවස්ථාවකම එක් ස්ථානයක පන්දුව පතිත කිරීමට සමත් වූයේ ප්‍රභාත් ජයසූරිය පමණයි. ඒ අනුව අනෙක් දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් ප්‍රතිවාදීන් ලකුණු ලබා ගැනීමට සමත් වූවා. එවන් අවස්ථාවක පිතිකරුවන්ට පීඩනය ඇති වන අයුරින් පන්දු රකින්නන් ස්ථානගත කිරීම ඉතාමත් දුෂ්කරයි.

එමෙන්ම එක් අන්තයකින් ලකුණු රිසි සේ ලබා ගැනීමට අවස්ථාව සැලසෙද්දී ප්‍රභාත් ජයසූරියට පිතිකරුවන් පීඩනයකට ලක් කිරීම අපහසුයි. ඒ අනුව ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මෙන්ම හයේ සහ හතරේ පහරවල් වළක්වා ගැනීමට අපි උපරිම උත්සාහය දැරුවා. ටෙස්ට් තරගයක ජයග්‍රහණය සඳහා හතරේ සහ හයේ පහරවල් තීරණාත්මක සාධකයක් වෙනවා. කෙසේ වෙතත් ප්‍රභාත් ජයසූරිය මෙන්ම අනෙක් පන්දු යවන්නන් නිසි එල්ලයට පිතිකරුවන් ග්‍රහණයට සහ පීඩනයට නතු කළා නම් ඊට ගැළපෙන ආක්‍රමණශීලී ලෙස පන්දු රකින්නන් යෙදවීමට අපිට හැකියාව තිබුණා.”

මේ අතර නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නකු ලෙස දිගින් දිගටම දැක්වූ දුර්වලතා සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු දැක්වූ ධනංජය “දඟ පන්දු යවන්නන්ට හොඳින්ම කඩුලු රැකීම සිදු කරන දැනට ශ්‍රී  ලංකාවේ සිටින දක්ෂතම කඩුලු රකින්නා ඔහුයි. ඔහු ටෙස්ට් තරග 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙනවා. එහි වාර්තා අනුව ඔහු දඟ පන්දු යවන්නන්ට හොඳින් කඩුලු රැකීම සිදු කරන බව ඔප්පු වෙනවා. කෙසේ වෙතත් මෙයට පෙර තරගයන්හිදී දැඩි දඟ කැවීමක් සහිත තණතීරු තිබුණා. එහිදී යම් අඩුපාඩු සිදුවුණත් මෙහිදී ඔහු සෑහෙන තරම් හොඳින් කඩුලු රැකීම සිදු කළා. කෙසේ වෙතත් ඉනිම් කිහිපයක ඔහු ලකුණු ලබා ගත්තා. බොහෝ දෙනා පවසන අයුරින් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට ඔහු අපොහොසත්ව තිබෙනවා. අනාගතයේදී ඔහු එම ඉලක්කය සපුරාගනු ඇතැයි සිතනවා. එමෙන්ම කණ්ඩායම අමාරුවේ වැටුනු ස්ථානවලදී ඔහු ලකුණු ලබා ගනිමින් තම දායකත්වය සපයා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

කෙසේ වෙතත් පළමු තරගය පරාජයට පත්වුවද දෙවැනි තරගයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ධනංජය “ඉදිරි තරගය සම්බන්ධයෙන් තවමත් කිසිවක් නිශ්චිතව පැවැසිය නොහැකියි. නායකත්වය සහ පුහුණුකාරීත්වය ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එසේ වුවත් කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමේ යම් හැකියාවක් පවතිනු ඇති. කෙසේ වෙතත් මීළඟ තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය ඉදිරි දින කිහිපයේදී අපිට දැනගැනීමට හැකිවේවි.” යනුවෙන් මෙහිදී අවසන් වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

මේ අතර පාකිස්තානය සමඟින් 24 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී  ලංකා සංචිතයේ සිදුවන වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ඊයේ (21දා) නිල නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබා සිටින පැතුම් නිස්සංක නැවතත් ශ්‍රී  ලංකා සංචිතය වෙත කැඳවා ඇති අතර දකුණතෙහි ඇඟිල්ලක ආබාධයකට ගොදුරුව සිටින මහීෂ් තීක්ෂණ සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද එහි සඳහන්ය. කෙසේ වෙතත් තීක්ෂණ වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී  ලංකා සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇත. පැතුම් නිස්සංක සහ ලක්ෂිත මනසිංහ ඊයේ දිනයේදී ශ්‍රී  ලංකා සංචිතය සමඟින් එක්වූ බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.

ගමිත දෙහිපිටිය