දුම්රිය ගාස්තුව ඉහළට

0
52

දුම්රිය සාමාන්‍ය ගාස්තු ඊයේ (21දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට. අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් අද (22දා) දිනයේ සිට මෙම මිල ගණන් සංශෝධනය සිදුවනු ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවැසීය.

ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත් රුපියල් 10.00ක්ව පැවැති අවම දුම්රිය ගාස්තුව හා වේදිකා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති බවත් ජයසුන්දර මහතා කීය.

එසේම දුම්රිය ආසන වෙන්කිරීමේ කාලසීමාව නැවත වරක් දින 14ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් මෙය ඊයේ (21දා) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය සති කිහිපය පුරාවටම පැවැති තත්ත්වයන් නිසා ආසන වෙන්කිරීමේ කාලසීමාව දින 07ක් දක්වා අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් මගීන් බොහෝමයක් කළ ඉල්ලීමට අනුව නැවතත් මෙම කාලය දීර්ඝ කිරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් දුම්රිය ගාස්තු වැඩි වන බව ප්‍රකාශ කරනු ලැබුවත් එවන් මිල වෙනස් වීමක් තම සංගමය අද දිනයේ සිට ක්‍රියාත්මක නොකරන බවත් එය ප්‍රායෝගිකව කිරීමට නොහැකි බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පැවැසීය.

මිතුන් ජයවර්ධන