තෙල් පෝලිමෙන් ඈත් වීම

0
108

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල් හරහා ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දී තිබේ. වාහනයේ අවසන් අංකයට අදාළ දිනයට වාහනය ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන ආ යුතුය. මෙහිදී තමාට හිමි දිනයට දිවයිනේ ඕනෑම සිපෙට්කෝ ඉන්ධනහලකින් නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කොට තිබේ.

අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි ඊයේ සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාවට නැඟීමට නියමිතව තිබිණි. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පිරවුම්හල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස QR කේත ක්‍රමය අත්හදා බැලීමටද ලබන 25දා සිට එය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කොට තිබේ.

QR කේත ක්‍රමයට ලියාපදිංචි වීමේදී ආරම්භක අවස්ථාවේ යම් යම් තාක්ෂණික දෝෂවලට මුහුණ දෙන්නට සිදුවුවද කඩිනමින් ඒ සියල්ල නිරාකරණය කරලීමට පියවර ගෙන තිබේ. මේ වන විට දැනගන්නට ලැබී තිබෙන්නේ සැලකිය යුතු පිරිසක් මෙම නව ක්‍රමය යටතේ තම තමන්ගේ වාහන ලියාපදිංචි කරගෙන ඇති බවය. මෙම නව ක්‍රමය යටතේ දින දෙකක් වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකිය. 6 7, 8 9 අංක සඳහා දින තුනකි. ඉන්ධන ලබාදීම කෝටා ක්‍රමයක් යටතේ සිදුවෙයි.

කඩින් කඩ පැනනැඟුණු අර්බුද මාලාවට මුලින්ම බලපෑවේ පොහොර හිඟයයි. එයින් පසු පිළිවෙළින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම, විදුලිය, ගෑස්, ඉන්ධන අවශ්‍යතා නිසි පරිදි සපුරාලීමට ආණ්ඩුව අසමත් වීම යන කාරණා හේතුකාරක වී තිබේ. ඉන්ධන අර්බුදය මේ සියලු කාරණා අභිභවා ප්‍රමුඛත්වයට පත්වූයේ රට පුරා ඉන්ධන පෝලිම්වල පැනනැඟුණු බරපතළ ගැටලු හේතුවෙනි.

විෂය භාර අමාත්‍යවරයා විටෙක ඩොලර් හිඟය ගැන කියයි. තවත් විටෙක නැව් එන දින වකවානු ගැන කියයි. තෙල් සොයා රටින් රටද ගියේය. සාකච්ඡාවලටද එක් වූ සැටි පෙනිණි. ඉඳහිට නැවක් දෙකක් පැමිණියත් සීමිත ඉන්ධන ප්‍රමාණය පැවැති ඉල්ලුමට අනුව නොසෑහිණි. මේ සියල්ල විටෙක නාටකයක් සේ පෙනිණි.

ඉන්ධන අර්බුදය දරුණු වෙත්ම, සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සියල්ලම වාගේ වැසී යන තැනට කටයුතු යෙදිණි. ධ්ර්ණීඛ් පිරවුම්හල්වලින් සීමිත ඉන්ධන සැපයීමක් කළ නමුත් ජනතා අවශ්‍යතාව ඉටුකරලීම දුෂ්කර වූ බව පෙනිණි. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ලබාදුන් අවසරපත් මෙන්ම අමාත්‍යාංශ අනුමැතියෙන් ලබාදුන් ටෝකන් ක්‍රමයද වංචනිකයන්ට තවදුරටත් උඩගෙඩි දුන්නා මිසක අර්බුදයට විසඳුමක් වූයේ නැත.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමය ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් ලබා දුන් නියෝගය අනුව මෙරට පුරවැසියන් වෙත ඉන්ධන ලබාදීමේදී කිසියම් සාධාරණ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැනනැඟිණි. ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල්, ප්‍රවාහනය ඇතුළු ජන ජීවිතයට ඍජුව බලපෑම් කරන ක්‍ෂේත්‍ර රැසක් කඩා වැටී තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමටද ඉන්ධන ගැටලුව වක්‍රව බලපා තිබේ. QR කේත ක්‍රමය කරළියට එන්නේ මෙවැනි පසුබිමකය.

මේ රටේ සබුද්ධික ජනතාව අපේක්ෂාවෙන් සිටියේ පවතින ක්‍රමයේ වෙනසකි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නියාමන නිලධාරි පිරිස්ද වරින් වර ක්‍රම විධි මාරුවක් ගැන අදහස් පළකරනු පෙනිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද සිස්ටම් චේන්ජ් ගැන කතා කළත් අසුනින් බැස යන තෙක්ම ඔහුට ඒ සඳහා ඉඩප්‍රස්තා ලැබුණේ නැත. ඔහු ක්‍රියාත්මක කළ බොහෝ යෝජනා පිළිබඳව ඔහුම පශ්චාත්තාප වනු පෙනිණි. යම් ක්‍රමයක අනුචිත බවක් හෝ අනනුකූල බවක් ප්‍රත්‍යක්ෂ වූ කල්හි ඒ ක්‍රමයෙන් වහා අත්මිදිය යුතුමය. “තැත් වරද ක්‍රමය” යනු එයයි. වඩාත් පැහැදිලි කළහොත් වැරදුණු කල වහා නිවැරැදි වීමය. එසේ නොවුණු හැම අවස්ථාවකම සිදුවන වරදින් බරපතළ ව්‍යසනයකට මං පෑදෙයි. එය ලෝක ස්වභාවයයි.

ඉන්ධන වංචා පිටුදැකීමටත් අර්බුදය යම් මට්ටමකට නිරාකරණය සඳහාත් QR කේත ක්‍රමය යම් සාර්ථකත්වයක් පෙන්වනු ඇති බවට මත පළවී තිබේ. මේ ක්‍රමයෙහි යම් යම් තාක්ෂණික ගැටලු  ඉදිරියටද ඇති විය හැකිය. ඒ සම්බන්ධව බලධරයන්ගේ අවධානය යොමු විය යුතුය.

ඉන්ධන මිල සොච්චමකින් අඩුකොට තිබේ. මිල ගණන් උස්සනවාට වඩා එසේ හෝ අඩුකරන තැනට කටයුතු යෙදෙනවා නම් යහපත්ය. අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි අවශ්‍යතා ඉටුකරගන්නට ඉඩකඩ නොලැබේ නම් මිල බැස්සුවත් පලක් නැත. ආණ්ඩුව දැන්වත් මේ අර්බුදයට වහා පිළියම් සෙවිය යුතුය. පෝලිම් කෙටි කරනවා කියා එදා කියා තිබුණාට සිදුවුණේ තව තවත් දික් වීමය. සිපෙට්කෝ පිරවුම්හල් ටික දිගටම වගේ වැසී ගොස් තිබිණි. ජනතාවද දැන්වත් සන්සුන් විය යුතුය. ඉන්ධන බෙදාහැරීම විධිමත්ව කළමනා කර ගන්නට ජනතා සහාය ලබාදිය යුතුය. කල දුටු කල වළ ඉහගන්නට බල බලා ඉන්නා උදවියට ඊට ඉඩ නොතැබිය යුතුය. තෙල් අර්බුදය කඩිනමින් විසඳාගත හැකි වුවහොත් සෙසු සියලු අර්බුද වඩාත් පහසුවෙන් විසඳාගන්නට ඉඩ සැලසෙනු නිසැකය.