ජනපති ලේකම් සමන් ඒකනායක

0
204

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක ඊයේ (21දා) පත්කර ඇත. ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙසේ පත් කර ඇත. සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේ‍ර්ණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වේ.

එමෙන්ම ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ඇත. වසර තිහක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල සමන් ඒකනායක මහතා කටයුතු කර තිබේ. එමෙන්ම මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේද ඒකනායක මහතා සේවය කර ඇත.

සඳුනි ගමාරච්චි