ජනපති දිවුරුම් දෙයි… පළමු ගමන ආරක්ෂක අමාත්‍යාංශයට

0
283

ශ්‍රී  ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (21දා) පෙරවරුවේ ශ්‍රී   ජයවර්ධනපුර  කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1993 දී ඩී.බී. විජේතුංග  ජනාධිපතිවරයා යටතේත් 2001දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේත් 2015දී (දෙවරක්)  2018 හා 2020 වසරවල ලෙස 6 වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි.

එසේම එක්සත් ජාතික පක්ෂයට විධායක ජනාධිපති ධුරයක් හිමිවන්නේ වසර 29කට පසුවය.

පෙරේදා (20දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම දිවුරුම් දීමට තමාට  අවස්ථාව දෙන ලෙස රනිල් වික්‍රමසිංහ එහිදී   ඉල්ලා සිටියේය.

එහිදී රනිල් වික්‍රමසිංහට ඡන්ද 134ක්ද  ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82ක්ද අනුර කුමාර දිසානායකට ඡන්ද 3 ක්ද ලැබිණි.

එක් මන්ත්‍රිවරයකු පමණක් හිමි පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ පත්වන්නේද ප්‍රථම වරටය.

ඒ අනුව ලංකාවේ පාර්ලිමේන්තු ජනාධිපති ඡන්දයකින් ජනාධිපතිවරයකු ලෙස තේරී පත් වූ ප්‍රථම මන්ත්‍රිවරයා වන්නේද රනිල් වික්‍රමසිංහයි.

එමෙන්ම 1999 හා 2005 වසර දෙකේ හෙතෙම දෙවරක්  ජනාධිපතිවරණයට තරග කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1977 වසරේදී වන අතර එවකට ජේ.ආර්. ජයවර්ධන රජයේ ළාබාලම  ඇමැතිවරයා ලෙසය. 2020 පැවැති  මැතිවරණයෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක්වත් එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට නොහැකි වූ අතර වසරක් පමණ ගතවීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණියේය.

රටේ දැවැන්ත  අරගලයකින් පසු 2022 ජූලි 15 වැනිදා ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති ධුරයෙන්  ඉල්ලා අස් වූ අතර වැඩ බලන ජනාධිපති ලෙස රනිල්  වික්‍රමසිංහ පෙරේදා (20දා) වන තෙක් කටයුතු කළේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (21දා) සිට මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්  දී වැඩ අරඹන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී එම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඊයේ (21දා) පැමිණියේය.

ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයාව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා ප්‍රථමයෙන් රාජ්‍ය ආයතනයක් වෙත පැමිණි අවස්ථාව මෙය වන අතර එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් හමු වී සාකච්ඡාවක්ද පැවැත්වීය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, නීතිපති, ජනාධිපති ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානි, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ  සහ අමාත්‍යාංශ ජේ‍යෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි, චාමර අමරසූරිය