ඡන්දෙන් දිනූ ගෝඨා ගෙදර යවලා අරගලකරුවන් පරාජිත රනිල් රජගෙදරට යැව්වා

0
18

අරගලකරුවන්ට පහරදිය හැකි නායකයකු අවසානයේ අරගලකරුවන් විසින්ම මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කරගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

අරගලයෙන් වී ඇත්තේ ඡන්දයෙන් දිනූ ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවා ඡන්දයෙන් පැරදුණු රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවේ වාඩි කරවීම බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (21දා) එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

සර්වපාක්ෂික එකඟතාවක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් උදා වුණා. නමුත් අවාසනාවකට එම අවස්ථාව මඟහැරී ගියා. ඡන්දෙන් පරාද වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන් වුණා පොහොට්ටුවේ බලධාරීන්ගේ උපකාරය යටතේ පාර්ලිමේන්තු ඡන්දෙන් ජයග්‍රහණය කරන්න.

මම මේ අර්බුදය ගැන පසුගිය කාලේ කතා කළා මේ අර්බුදය ගැන සුළුවෙන් තකන්න බැහැ කියලා. මොකද එහෙම බැලුවොත් මේකෙන් වාසිය යන්නේ වෙන අයටයි.

මැයි 9 වැනිදා ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණා. ඊට පස්සේ ඔහු ජනාධිපති වුණා. අන්තිමට වුණේ අරගලකරුවන් තමන්නේ මන්දිරය වටලන විට වෙඩි තියන්න නියෝග නොකරපු ජනාධිපති ගෙදර යවලා අරගලකරුවන්ට පරිප්පු කවන්න බලාගෙන ඉන්න කෙනෙක් ජනාධිපති ලෙස පත්වීමයි. අන්තිමට අරගලකරුවෝ නිර්මාණය කරගෙන තිබෙන්නේ න්‍යායක් නැති උපාය මාර්ගයක් නැති ඥානයක් නැති, හිසක් නැති අරගලය කරන අයටම නෙළන්න පුළුවන් කෙනකු හැටියට මුද්‍රාව ලැබූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට පත් කිරීමයි.

පාර්ලිමේන්තුවේ 134ක් මන්ත්‍රිවරු රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නේ ඇයි. ඒවාට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් පොදු හේතුව තමයි මන්ත්‍රිවරුන්ගේ තිබෙන අනාරක්ෂිත මනස.

මොකද ඒ අයට ගමට යන්න බැහැ ගමේ අය පහර දෙන්න එනවා. ඒ නිසා සියල්ලට කලින් ඒක විස¼දාගත යුතුයි. ඒක විසඳන්න පුළුවන් ඒ පිළිබඳ කීර්තිමත් උපාධියක් ලබා තිබෙන රනිල් වික්‍රමසිංහට පමණයි. මේක තමයි 134ක් මන්ත්‍රිවරු රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නු ප්‍රධාන හේතුව. ඒ මනස ඇති කළේ කවුද ඒක ඇති කළේ අරගලය.

දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක් විචාරශීලී කියවීමක් මොනවත් නැතිව කනේ කරාබු දා ගත්තු රැවුල්කාරයෝ වීරයෝ වෙලා නළු නිළියෝ ෆෝම් වෙලා අන්තිමට ගෙනාවා රනිල්.

මොකද ඒ මන්ත්‍රිවරු හිතුවා ඩලස් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි කෙනෙක් කියලා. ඩලස් කියන්නේ අරගලකාරයෝ එක්ක හුරතල් වෙන කෙනෙක් කියලයි ඒ අය හිතුවේ. ඒ නිසා ඩලස්ට වඩා රනිල් හොඳ වුණා. මේකෙන් අපිට පාඩමක් ඉගෙන ගත හැකියි.

ආර්ථික අර්බුදය තමයි අරගලයේ ප්‍රධාන සාධකය. නැතිව එය අරගලකාරයන්ගේ බලයක් නෙමේ, ඕනෑම විරෝධයක් යම්කිසි ආකාරයකට  කළමනාකරණය කරන විට එයට ඥානාන්විත නායකත්වයක් තිබිය යුතුයි.

එහෙම නැති වුණොත් ස්වීප් එක වෙන අයට ඇදෙනවා. ඊට පස්සේ ඉන්න කෙනා යනවා. වෙන කෙනකුට ස්වීප් එක ඇදෙනවා. නොහිතපු කෙනාට ස්වීප් එක ඇදෙන්නයි මේක කළේ.

අලුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අසුබවාදී චිත්‍රයක් මවන්න අපට අවශ්‍ය නැහැ. හැබැයි මේ  රට වැටිලා තියෙන තරමේ හැටියට අලුත් ජනාධිපතිවරයාට හා ඔහුට ජයග්‍රහණය කරන්න මූලිකත්වය ගෙන කටයුතු කරපු කණ්ඩායමට මේ ප්‍රපාතයෙන් රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා අපට අබමල් රේණුවක විශ්වාසයක් නැහැ. මොකද අපි අද ඉන්නේ ලබන මාසේ පඩිය රජයේ සේවකයන්ට ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඉදිරිපිට. ආර්ථික විශේෂඥයෝ කියනවා මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්ද දුෂ්කරයි කියලා.

එහෙම තත්ත්වයක් තුළ රටක නායකත්වය භාරගත යුත්තේ සුජාත භාවය හිමි කණ්ඩායමක්. ඔවුන් මහජනයාගේ විශ්වාසය දිනාගත යුතුයි. ඒ නිසයි අපි හැමවිටම සර්වපාක්ෂික පාලනයක් පිළිබඳ අදහස හැමවිටම ඉදිරිපත් කළේ. ඩලස් අලහප්පෙරුම ජනාධිපති වුණානම් සජිත් ප්‍රේමදාසත් එම පාලනයේ ඉන්නවා. හැම ධාරාවක්ම ඒ පාලනයේ කොටස්කාරයෝ වෙනවා.  එවිට මහජනයාගේ හැම අංශයකටම ඒ පිළිබඳව බලාපොරොත්තුවක් ඇතිවනවා. එයට සුජාත භාවයක් ලැබෙනවා. ඒ බලාපොරොත්තුව ඇතිවන විට දුක් විඳගෙන හරි ඒකත් එක්ක අනුගත වෙන්න හිතෙනවා ජනතාවට. නමුත් මෙතන එහෙම එකක් නැහැ.

ඡන්ද 134ක් අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනාධිපති වුණාට රටේ කෝටි ගාණක ජනතාවගේ හදවතේ ඒ පිළිබඳව තිබෙන සුජාතභාවය අල්පයි.

රනිල් මහත්තයට ඡන්දෙ දීපු සමහර අය හිතනවා ඇති 88/89 ජවිපෙන් ආපු අභියෝගයට රනිල් වික්‍රමසිංහ මහත්තයලා හොඳට මුහුණ දීලා ජය ගත්තා කියලා.  ඒ විදිහට මේ තත්ත්වයත් ජය ගන්න පුළුවන් කියලා ඔවුන් සිතනවාද දන්නේ නැහැ.

නමුත් 88/89 සමාජ මාධ්‍යය කියලා ජාතියක් තිබුණේ නැහැ. පීඩනයෙන් දරිද්‍රතාවයෙන් දුකෙන් පෙළෙන තරුණ සහ මැදි වයසේ අය අද සමාජ මාධ්‍ය හරහා අදහස් හුවමාරු කර ගන්නවා. එය මහ සමාජයක්. ඒවා ප්‍රඥාවන්ත අදහස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් 88/89 පන්නයේ මර්දන දැන් ගේන්නට බැහැ.

අරගලය, අරගලය කියලා කිව්වට, එහි අවසන් ප්‍රතිඵලය කුමක්ද? මොකක්ද? වෙන්නේ කියලා තේරෙන්නේ නැතිව හැදෑරීමක් නැතිව හිටියොත් ස්වීප් ඇදෙන්නේ වෙන අයට. අරගලයේ ඉන්න අය රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ එකට අසතුටු ඇති. නමුත් කරන්න දෙයක් නැහැ. රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. නීතියක් තියනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුලින්ම ගාලු මුව‍ෙදාර පිටිය දිහා බලයි, කෘතගුණ සලකන්න. අවසානයේ අරගලකරුවනුත්, අරගලයට විරුද්ධ අයත්, පාර්ලිමේන්තුවේදී අරගලයට බයෙන් රනිල් වික්‍රමසිංහ තෝරපු අයත් රට බිහිසුණු මාවතකට රැගෙන යෑමේ තැනකට ගෙනත් තිබෙනවා.

නමුත් අපේ නැහැ ළඟ නවන තීරණ. අපි තීරණ ගත්තේ නිශ්චිතවයි. මේ ප්‍රශ්න උඩු දිව්වොත් ශ්‍රී  ලංකා රාජ්‍යයේ අවසාන පරිච්ඡේදය ලියවෙන්නට පුළුවන්.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය