ගෝත්‍රික කතක් පළමුවරට ඉන්දියාවේ ජනපති වෙයි

0
233

ඉන්දීය ජනාධිපතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ද්‍රව්පදි මූර්මු (64) ඊයේ (21දා) ජය ගත්තාය.

ඒ අනුව ගෝත්‍රික ප්‍රජාවක් නියෝජනය කරමින් ඉන්දීය ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව බවට ද්‍රව්පදි මූර්මු පත්වූවා.

ද්‍රව්පදි මූර්මු මෙසේ ඉන්දීය ජනාධිපති ධුරයට පත්වූයේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ යෂ්වන්ත් සිං (84) පරාජයට පත් කරමිනි.

ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන නායිකාවක වූ මූර්මු 2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය හෙබවූ අතර තෘණමූල් කොංග්‍රසය නියෝජනය කළ යෂ්වන්ත් සිං ද භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි.

එරට පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත මන්ත්‍රණ සභාවන්හි මන්ත්‍රිවරුන් පන්දහසකගේ පමණ ඡන්දයෙන් ජනාධිපති තේරීම සිදු වූ අතර ජනාධිපතිවරණය ආරම්භයේදීම දේශපාලන විචාරකයන් මත පළ කළේ මූර්මු ජය ගනු ඇති බවයි.

බිඟුන් මේනක ගමගේ