ගෑස් පෝලිමේ සිටි තිදරු පියාගේ හිසට පොල් ගෙඩියක් වැටිලා

0
43

දින ගණනක් තිස්සේ පිටිගල ගෑස් පෝලිමේ දුක් විඳිමින් කුසගින්නේ රස්තියාදු වූ අයකු ගෑස් පෝලිමේ සිටියදීම හිස මතට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඊයේ (21දා)  ඇල්පිටිය රෝහලේ හදිසි අනතුරු අංශයට  ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ගොස් සිටි දික්හේන ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු අසල රැඳී සිටි විමලසිරි ගමගේ නමැත්තා මෙසේ කීය.

  මගේ අංකය 408 එයාගෙ 409 තිබුණේ. මම දන්න කෙනෙක්. අපි කතා කරමින් පෝලිමේ ඉන්න කොට පොල් ගෙඩිය එයාගෙ ඔළුව උඩට  වැටිලා මගේ ඇඟේ තමයි වැදුණේ. මට එතරම් අමාරුවක් නෑ. එයා සිහි නැතුව වැටුණා. අපි උස්සගෙන ගිහින් වතුර ඉහලා එයාලගේ ගෙදරට පණිවුඩ යැව්වා. ඇල්පිටිය රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට තමයි ඇතුළත් කළේ. එයාට අමාරුයි. කොහොම වුණත් ගෑස් දුන්නෙත් නෑ. පෝලිමේ ඉඳල ටෝකන් එකත් අරන් ගෙදර ආවා. අපි නම් විඳින්නෙ අපා දුකක්.

 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලිමේ සිටි අය  පැවැසුවේ දින ගණනක් දුක් විඳ පෝලිම්වල සිටින පිරිස්වලට ආරක්ෂාව සැලසෙන පරිදි මෙම කටයුතු සංවිධානය කළ යුතු බවයි.

 කෙසේ වුවද ජනතාවගේ එකම අරමුණ ගෑස්  ලබා ගැනීම පමණක් බැවින් ආරක්ෂාව ගැන තැකීමක් නොකරන බවද ඔවුහු පැවැසූහ.

අම්බලන්ගොඩ – ධර්මදාස සිරිවර්ධන