ගම්මිරිස් අස්වැන්න අඩුවීමෙන් වගාකරුවන් ලක්ෂ 8ක් පීඩාවේ

0
55

මෙවර ගම්මිරිස් අස්වැන්න සියයට දහයටත් වඩා අඩුවී ඇතැයි ගම්මිරිස් ගොවියන් සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු ආර්.එම්. ඉසුරුජීව පැවැසීය. මේ හේතුවෙන් දිවයින පුරා සිටින ගම්මිරිස් වගා කරන පවුල් ලක්ෂ අටක් පීඩාවට පත්ව සිටින බවද ඉසුරුජීව මහතා සඳහන් කළේය. බදුල්ල, මොනරාගල, මාතලේ, මහනුවර, රත්නපුර ආදී ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරන ප්‍රදේශවල ගොවියන් මෙම තත්ත්වයට මුහුණදී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජුනි, ජූලි, අගෝස්තු මාසවල අස්වනු නෙළීමේ කටයුතු සිදුකළද මේ දක්වා ඉහළ අස්වැන්නක් කිසිදු පළාතකින් වාර්තා වී නොමැති බවද  ඔහු පැවැසීය. පොහොර හිඟය, නඩත්තු පිරිවැය ඉහළ යෑම, නැවත වගාවන්ට උනන්දු නොවීම, මිලදී ගැනීම් හා අපනයනය සඳහා රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවීම, පසු අස්වනු තාක්ෂණ හඳුන්වා නොදීම යන කරුණු මත ගම්මිරිස් වගාවන් විනාශ වෙමින් තිබෙන බවද ඉසුරුජීව මහතා සඳහන් කළේය.

ඇතැම් වගාවන් සඳහා වසර දෙකකින් පමණ පොහොර යොදා නොමැති බව කී ඔහු කම්කරු කුලිය ඇතුළු වියදම් ඉහළ යෑම හේතුවෙන් ගම්මිරිස් වගා නඩත්තු කටයුතුවලින් ගොවීන් අෑත්ව සිටින බව ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ