කොටදෙණියාවේ වගා ඉඩමකින් වතුර මෝටර් පහක් සොරාගත් සැකකරුවන් පස්දෙනාට ඇප

0
17

කොටදෙණියාව, වල්පිට අගලේගෙදර ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ  වගා කටයුතු සඳහා යොදා තිබූ වතුර මෝටර් 05ක් සොරා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස්දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 20 වැනිදා නියම කළාය.

චෝදනා පත්‍රයක් ගොනුකළ විට තම සේවාදායකයන් වරද පිළිගැනීමට සූදානම් බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංගල වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ පැවැසීය.

කුඩගම්මන සහ බල්ලපාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් පස්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙසේ ඇපමත මුදා හැරිණි.

අක්කර 50ක් පමණ විශාල වූ ඉඩමේ හරතාගාර දහනවයක් ඇති බවත් හරිතාගාරවලට ජලය සැපයීම සඳහා යොදාගෙන තිබූ වතුර මෝටර් සැකකරුවන් මෙසේ සොරා ගෙන ගොස් තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.

සැකකරුවන් සොරාගත් එම වතුර මෝටර් විකුණා තිබියදී කොටදෙණියාව පොලිසිය මඟින් සොයාගෙන ඇති බවටද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය. නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ එම වතුර මෝටර් 05 බැඳුම්කරයක් මත හිමිකරුවන්ට මුදා හැරිණි.

කොටදෙණියාව පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන්වරුන් වන චන්ද්‍රසේකර (34621) සහ හේරත් (19918) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ. සැප්තැම්බර් මස 22 වැනිදාට සැකකරුවන්ට නැවත අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ