කිලෝමීටර් 39ක් මළ සිරුර ගේන්නයි ගෙනියන්නයි රු. 80,000ක් ගිහින්

0
204

උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දුෂ්කර ගම්මානයක පදිංචි පෙදරේරුවකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකදී එම මළ සිරුර පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා උඩදුම්බර සිට තෙල්දෙණියටත් තෙල්දෙණිය සිට යළි උඩදුම්බරටත් මල්ශාලා වාහනයකින් ප්‍රවාහනය සඳහා රුපියල් අසූ දහසක මුදලක් වැය වීමේ සිද්ධියක් උඩදුම්බර මහවෙල ගම්මානයෙන් වාර්තා වේ.

හදිසි අනතුරකින් සිය නිවෙස අසලදී ජීවිතක්ෂයට පත්වූ පෙදරේරුවකුගේ මළ සිරුර පිළිබඳ උඩදුම්බර දිසා රෝහලට මල්ශාලාවක වාහනයකින් මෙම මළ සිරුර ප්‍රවාහනය කර ඇත.

එහිදී එම රෝහලේ අදාළ අධිකරණ වෛද්‍යවරයකු නොමැතිකම නිසා එම මළ සිරුර යළි තෙල්දෙණිය දිසා මූලික රෝහල වෙත ගෙන ගොස් ඇත.

මෙම මළ සිරුර පිළිබඳව තෙල්දෙණිය දිසා මූලික රෝහලේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පසුගිය සෙනසුරාදා පවත්වා එම මළ සිරුර පවුලේ ඥාතීන්ට භාරදී ඇත. උඩදුම්බර මහාවෙල සිට උඩදුම්බර දිසා රෝහලට හා තෙල්දෙණිය දිසා රෝහලට හා යළි උඩදුමුබරට එම මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා මල්ශාලා වාහනයට රුපියල් අසූ දහසක  මුදලක් අයකර ඇති අතර එම මුදල ප්‍රදේශවාසීන් විසින් එකතු කර ලබාදී ඇති බවත් වාර්තා වෙයි. උඩදුම්බර හා තෙල්දෙණිය අතර කිලෝමීටර් තිස් නවයක දුරක් ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම දිනවල පෙට්රල් හා ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධනහල් අසල දිග පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් ජාවාරම්කරුවන් පෙට්රල් ලීටරයක් රුපියල් දෙදහසකටත්, ඩීසල් ලීටරයක් එක් දහස් පන්සියයකටත් අලෙවි කරන බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

තෙල්දෙණිය – කේ. නිශ්ශංක