එක්දින තරග ඉවත් කරන ලෙස වසීම් අක්‍රම්ගෙන් ඉල්ලීමක්

0
303

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැඹුරුව සලකා බැලීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනින් එක්දින තරග රටාව ඉවත් කිරීමට අදාළ වගකිවයුත්තන් කඩිනමින් ක්‍රියා කළ යුතු බව පාකිස්තාන හිටපු නායක සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් පවසා තිබිණි. ඒ අනුව විදෙස් ක්‍රීඩා මාධ්‍ය සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළකර තිබූ අක්‍රම් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට මෙන්ම සියල්ලන්ට අමතර බරක් පැටවෙන බව තම හැඟීම බවයි.

එහිදී තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබූ අක්‍රම් පවසා තිබුණේ මෙවැන්නකි. “එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට එංගලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ගනු ලැබූ තීරණය පිළිබඳ මම පූර්ණ එකඟත්වය පළකරනවා. එමෙන්ම එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවලදී එක්දින ක්‍රිකට් රටාව තුළ ක්‍රීඩාංගණ පිරී ඉතිරී යන තරමේ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටියත්, ශ්‍රී  ලංකාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය වැනි රටවල තත්ත්වය එසේ නොවෙයි.

එවන් තත්ත්වයක් ඇතිවූ විට තරග සංවිධායකයන්, අනුග්‍රාහකයින් ඇතුළු සියල්ලන් දැඩි අපහසුතාවකට ලක්වෙනවා. එමෙන්ම එක්දින තරග රටාව තුළ පළමු පන්දුවාර 10න් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාව යම් තරමක ගුණාත්මක භාවයක් දැක්වූවත් නැවතත් අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 100ක් ලබා ගැනීමට උත්සාහ කරනවා. එය ගුණාත්මක භාවයට හානියක්. එපමණක් නොව ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සැලකීමේදී එක්දින ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඔවුන් දැඩිලෙස වෙහෙසට පත්වෙනවා.

 විස්සයි-20 තරග රටාවේ ආගමනයත් සමඟින් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දින ගණනක් පුරා දිවෙන්නක් ලෙස හැඟෙනවා. ඒ අනුව ක්‍රීඩකයන්ට තම උපරිම අවධානය විස්සයි-20ට සහ ටෙස්ට් තරග රටාවට යොමු කිරීමට සහාය විය යුතු බව මා තරයේ විශ්වාස කරන කරුණක්.”  එමෙන්ම දක්ෂ ක්‍රීඩකයන් සහ ක්‍රීඩාවේ ගුණය ආරක්ෂා කර ගැනීමට නම් වැඩි වශයෙන් ටෙස්ට් තරග රටාව ප්‍රචලිත කිරීම කෙරෙහි වගකිවයුත්තන්ගේ වැඩි අවධානය යොමු විය යුතු බවත් මෙහිදී වසීම් අක්‍රම් අවසන් වශයෙන් අදහස් දක්වමින් පවසා ඇත.