එකඟතාවක් සඳහා සාකච්ඡා කිරීමට කාලය දෙන්නැයි වගඋත්තරකරුවෝ ඉල්ලති

0
10

 ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිලධාරි මණ්ඩලයේ සියලුම ක්‍රියාකාරකම් තාවකාලිකව  අත්හිටුවා එම බලතල අනුශාසකවරයාට පැවරීමට කර තිබු නියෝගය පිළිබඳ නඩුව ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා හමුවේ පෙරේදා (20දා) විභාගයට ගත් අවස්ථාවේ සාකච්ඡාකොට එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයම සතියක පමණ කාලයක් ලබාදෙන  ලෙස ඉල්ලා සිටියහ.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව අනුව පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීම සාමාජිකයන් දැනුවත් නොකර කිසිදු හේතුවක් නොදක්වා කල් දැමීම නිසා ව්‍යවස්ථාව අනුව දැනට සිටින නිලධාරි මණ්ඩලය වලංගු නොවන බැවින් නිලධාරි මණ්ඩලය බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබු පෙත්සමක් සලකා බැලූ දිසා විනිසුුවරයා ඉකුත්දා (06දා) මෙම අතුරු තහනම්  නියෝගය නිකුත් කළේය.

ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් වන හරේන්ද්‍ර සිල්වා, කෙනත් කොන්ඩරඩ් ජයසූරිය, නාදුගල ලක්ෂ්මන් මොහොට්ටිගේ, ඒ.එස්.ජමිල්, ලසන්ත තලවින්න, කේ.එස්. අබේනායක, පියුමික එන්.රණසිංහ යන පැමිණිලිකරුවන් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුමාර් සමරසිංහ, රුවන් ද සිල්වා, චන්දන ගලප්පත්ති, තුසිත විජේතිලක, තුෂර ද සිල්වා, දිනේෂ් චමින්ද, ටයිටස් ගුණරත්න, කේ.ඒ.ඩී.සී.දසිල්වා, චන්දන පී.ගමගේ, රොහාන් ගුණසේකර, කේ.ඩී. ඉඹුල්දෙණිය, සමන්ත ලියනගේ, ඩී.ජී.මානවඩු, හසිත රාජපක්ෂ, මාලක ද සිල්වා, ඩී.බී. කළුපහන, එම්.කේ.ඩික්සන්, එම්.ටී.එස්.එන්.දවුළුගල යන දහඅට දෙනා නම් කර ඇත.

ගෝල් ක්‍රිකට් ක්ලබ් යනු ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ආයතනයක් බවත් මෙය 1876 වසරේ පිහිටුවා ඇති අතර තමන් එහි සාමාජිකයන් බවත් වගඋත්තරකරුවන් 2020 අගෝස්තු 30 වැනිදා පැවැති  මහා සභා රැස්වීමේදි  ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ විධායක සභාවට නිතරගයෙන් තේරී පත්ව ඇති බවත් එම විධායක සභාවේ නිල කාලය 2022 ජුනි 30 දා අවසන් වූ බවත් පෙත්සම්කරුවෝ කියා සිටියහ.

විධායක සභාවේ රැස්වීමක් 2019 මැයි 05 වැනි දින  පවත්වා ඇති බවත් එහිදි සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන යටතේ අයැදුම්කරුවන් ගෙවිය යුතු රුපියල් 13000ක මුදල රුපියල් 5000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අලුතින් සාමාජිකයන් 403ක් බඳවාගෙන ඇති බවත් කියා සිටි පෙත්සම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩා සාමාජයේ සාමාජිකයකු වන කේ.පී.එස්. වර්ණවීර මහතා ඇතුළු සාමාජිකයන් නව දෙනකු මෙහි සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට එරෙහිව ඔවුන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2022 පෙබරවාරි මස ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් කර ඇති අතර එහි විමර්ශන තවමත් අවසන් නොමැති බවය.

වගඋත්තරකරුවන්ට පක්ෂපාතිත්වය දක්වන බවට විශ්වාස කරන සාමාජිකයන්ගේ හිඟ වාර්ෂික සාමාජික ගාස්තු අයකරගෙන එම සාමාජිකයන්ගේ සාමාජිකත්වය වලංගු ලෙස සැලකීමට ක්‍රියා කරන අතර තෝරාගත් පිරිසකට පමණක් අගතිදායක ලෙස සහ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කටයුතු කරමින් වග උත්තරකරුවන් ක්‍රීඩා සමාජයේ කටයුතු අත්තනෝමතික ලෙස මෙහෙයවමින් සිටින බවද පෙත්සම්කරුවෝ කියා සිටියහ.

එනිසා වගඋත්තරකරුවන් ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ විධායක සභිකයන් වශයෙන් කටයුතු කරමින් 2022 05.21 වැනි දින සම්මත කරගෙන ඇති 2019 වසරේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන යටතේ සාමාජිකයන් වශයෙන් බඳවා ගත් 403 සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා ගෙන ඇති තීරණය බල රහිත ශූන්‍ය බවට ප්‍රකාශ කරන ලෙසත් විධායක සභාව සඳහා නිලවරණයක් පවත්වා නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීම පිණිස ඉක්මනින් මහා සභා රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එතෙක් ක්‍රීඩා සමාජයේ කටයුතු සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා නිසි බලධරයකු වශයෙන් ක්‍රීඩා සමාජයේ අනුශාසක හෝ අධිකරණය නම් කරනු ලබන වෙනත් පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් පත්කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

සියලු කරුණු සලකා බැලු දිසා විනිසුරුවරයා සති දෙකකට බලපැවැත්වෙන පරිදි  මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ඒ අනුව පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේ වග උත්තරකරුවන් කියා සිටියේ අතුරු තහනම් නියෝගය නිසා ක්‍රීඩා සමාජයේ කටයුතු කරගෙන යෑමට නොහැකි වී තිබෙන බවය.

එනිසා මෙම නියෝගය විසුරුවා හරින ලෙසත් එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කිරීමට සතියක කාලයක් ලබාදෙන ලෙසත් වග උත්තරකරුවෝ   ඉල්ලා සිටියහ.

එම කරුණු සලකා බැලු දිසා විනිසුරුවරයා වැඩිදුර විභාගය 27 වැනි දිනට කල් තබන ලදී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිසිර වීරසූරිය, රසික දිසානායක යන නීතිඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍රීමාල් විජේසේකර මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

ගාල්ල -ෆර්හාන් නිසාම්දින්