ඉන්ධන ලබා දෙනවා කියා රවටා යතුරුපැදි හා ත්‍රිරෝද රථ උස්සලා

0
16

ඉන්ධන පෝලිම්වල පිටුපස සිටින අයවලුන්ට ඉන්ධන ලබාදෙන මුවාවෙන් මුදල්. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයකු ඊයේ (21දා) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

පෙට්රල් ලීටරයක් රුපියල් 600 බැගින් ලීටර් 60ක් ලබාදෙන බැව් පවසා තෙබුවන ප්‍රදේශයට රැගෙන ගොස් රුපියල් තිස්හය දහසක් ලබාගෙන ත්‍රිරෝද රථයද රැගෙන පලාගොස් ඇති බවට කළුතර උතුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකුගේ පැමිණිල්ලක් අනුව කළ පරීක්‍ෂණවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකරු තවත් යතුරුපැදිකරුවකුට එවැනිම වංචාවක් කිරීමට සොරකම් කළ ත්‍රිරෝද රථයෙන්ම යමින් සිටින බවට සැරයන් කුමාරසිරි යන නිලධාරියාට ලද තොරතුරක් මත නාගොඩ, ගල්ලස්සහේන අතුරු මාර්ගයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

‍ෙදාඩන්ගොඩ, පිලමිනාවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක පී.ආර්. වීරසේන, සැරයන්වරුන් වන කුමාරසිරි (4298), කුමාර (11700), කොස්තාපල්වරුන් වන ගුණවර්ධන (85848), ඉහළගේ (24504) සහ උපුල් (95627) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක