ඇඹිලිපිටිය ගෝඨාගෝගම ශාඛාවට මැර ප්‍රහාරයක්

0
27

ගෝඨාගෝගම ශාඛාවක් ලෙස දින කිහිපයක් පුරා ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට පවත්වාගෙන යනු ලැබූ සත්‍යග්‍රහයට හා අරගල භූමියට පෙරේදා (20දා) රාත්‍රි නවයට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්  එහි සිටි සිය සාමාජිකයන්ට පහර දී අට්ටාලයද කඩා දමා ඇති බවත් ජාතික ජනබලවේගයේ ඇඹිලිපිටිය නායකයෝ පැවැසූහ.

සාමකාමී සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමඟ කලා වැඩසටහන් පසුගිය දින 07 ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට පවත්වාගෙන ගිය බව ඔවුහු පැවැසූහ. ඒ සඳහා බොහෝ දෙනකු එක්ව සිටි බවත් පෙරේදා (20දා) රාත්‍රි වාහන කිහිපයකින් ආයුධ සන්නද්ධව පැමිණි මැර පිරිසක් යකඩ පොලුවලින් පහර දුන් බවත් ඔහු කීහ.

එහිදී තුවාල ලැබූ දෙදෙනකු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තම අට්ටාලයද කඩා බිඳ විනාශ කර ඇති බවත් මේ පිළිබඳ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පොලිසිය මඟින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුහු කීහ.

මෙවන් ක්‍රියාවන් තුළින් තම ජනතා සටන කිසිසේත්ම අඩපණ කළ නොහැකි බවත් මෙයට විරුද්ධව තම අරගලය වඩා දැඩිව ඉදිරියට ගෙනයන බවත් එම ප්‍රාදේශීය නායකයෝ පැවැසූහ.

උඩවලව – සුරේන්ද්‍ර ගමගේ