අවුරුදු තුනක් ආණ්ඩුව දුවන්න රනිල්-රාජපක්ෂලාට පොරොන්දු වෙලා

0
254

අවුරුදු තුනක් මෙම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවට රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂ කඳවුරට පොරොන්දු වී ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (21දා) පැවැසීය.

මෙය අන්තර්කාලීන ආණ්ඩුවක්ද නැතිනම් දිගටම ගෙන යන ආණ්ඩුවක් දැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වහාම  රටට  ප්‍රකාශ කළ යුතු යැයි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එසේ අන්තර්කාලීන ආණ්ඩුවක් ගෙන යන්නේ නම්, එම පාලනයේ වැඩපිළිවෙළ කුමක්ද යන්න සොයා බලා විපක්ෂයේ සිට දිය හැකි සහාය දීමට තීරණය කරන බවද මන්ත්‍රිවරයා කියයි.

කෙසේ නමුත් තමාට ලද ආරංචිය අනුව රාජපක්ෂ කඳවුරට රනිල් වික්‍රමසිංහ විසින් දුන් සහතිකය නම් මෙම පාර්ලිමේන්තුව වසර තුනක් ගෙන යන බවට පොරොන්දු වී ඇති බව යැයි දිසානායක මහතා පවසයි.

බලයේ රැඳී සිටීමට අමතරව ඊට තවත් හේතු ලෙස ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප තවම සම්පූර්ණ වී නොමැති වීම හා ඇතැමුන්ට වාහන පර්මිට් නොලැබීම යන කාරණාද ඊට බලපා ඇති බවත්  මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

එම නිසා මෙම පාර්ලිමේන්තුවේ කවුරු වාඩි වුවත් එය සංගීත පුටු තරගයක් පමණක්  බවත් මෙම මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය නව පාලනයක් වෙනුවෙන්   වහාම මැතිවරණයකට යා යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්