අල්ලස් චෝදනා ගැන නිමල් පරීක්ෂණයක් ඉල්ලයි

0
288

ජපානයේ  සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සාහ කළේ යැයි තමන්ට   එල්ලවන චෝදනා. සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි වරාය නාවික හා ගුවන් සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඊයේ (21දා) ඉල්ලීමක් කර ඇත.

තමන් වෙත එම චෝදනාව එල්ල වූ අවස්ථාවේදී ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් හිටපු ජනාධිපතිවරයා රට හැරදා ගිය හෙයින් ඒ පරීක්ෂණය අතරමඟ නතර වූ බැවින් එම පරීක්ෂණය අතරමඟ නතර වූ බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

තම සමාගමෙන් එවැනි අල්ලස් ඉල්ලීමක් හෝ ලබාදීමක් සිදුනොවී යැයි අදාළ ජපාන සමාගම දැනටමත් ප්‍රකාශ කර ඇතැයි පැවැසූ හිටපු අමාත්‍යවරයා තමන් නිවැරැදිකරු බව ඉතාමත් වගකීමෙන් පවසන බවත් පරීක්ෂණයකින් ඒ බව තහවුරු කර ගත යුතුව ඇති බවත් කියා සිටී. ඇමැතිකමක් ඇතත් නැතත්, ඉක්මනින් පරීක්ෂණයකට මුහුණ දී තම නම පිරිසුදු කර ගැනීම තමන්ගේ අභිප්‍රාය බවත් නව ජනාධිපතිවරයාගෙන් මෙම පරීක්ෂණය ඉක්මන් කරන්නැයි ඉල්ලා සිටියේ ඒ හේතුවෙන් බවත් හෙතෙම පවසා සිටියේය.

නිමල් සිරිපාල ද සිල්වා අදාළ ජපන් සමාගමෙන් අල්ලසක් ඉල්ලා ඇති බවට හිටපු ජනාධිපති ගෝඨාභයට පැමිණිලි කර  තිබුණේ ශ්‍රී  ලංකාවේ ජපාන තානාපතිවරයා විසින් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. සිල්වා මහතාට ඇමැති ධුරයෙන් තාවකාලිකව ඉවත්වන ලෙස හිටපු ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ ඒ අනුව බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි. 

විනීතා එම්. ගමගේ