8 වන විධායක ජනපති අද දිවුරුම් දෙයි

0
371

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (ජූලි 21) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත ය.

නව ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දීම සිදු වේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ධූරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස ය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (ජූලි 20) තේරී පත් විය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජූනි මස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධූරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරිණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා වන අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වූ හෙතෙම පසුව තරුණ කටයුතු අධ්‍යාපන සහ කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධූර හෙබවීය.

1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේ ය.

වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට 1993 මැයි 7 වන දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය.

වික්‍රමසිංහ මහතා දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත් තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත් සිවුවන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාත් පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වනදා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්වී එම ධූරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය 14 දා සිට වැඩ බලන ජනාධිපති ධුරයට ද පත්විය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී නීති උපාධිය ලබා ඇත.

  • අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි