සිර කූඩුවේ සිටි සැමියා බලන්න හාමතේ ආ බිරිය පොලිසියේදී සිහිසුන්ව වැටිලා

0
13

කිසියම් වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් සිර මැදිරියේ සිටි තම සැමියා බැලීමට කුඩා දරුවා අතැතිව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පසුගිය 19දා දහවල් පැමිණි අවුරුදු 40ක පමණ  කාන්තාවගේ හා අතේ සිටි සිඟිති දරුවාගේ වෙනසක් දුටු ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.කේ විතානගේ මහතා මේ දෙදෙනා ගැන අවධානය යොමු කළේ කාන්තාව මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේදැයි යන සැකය මතය.

ඒ අනුව කාන්තාව හා කතාබහ කරන විට තේරුම් ගොස් ඇත්තේ දින ගණනක් තිස්සේ ආහාර නොමැතිව මෙම කාන්තාව ක්ලාන්තව ඇති බවයි. දරුවාද අප්‍රාණික බව පැහැදිලිව දුටු ස්ථානාධිපතිවරයා වහාම නිලධාරිනියක් ගෙන්වා උපදෙස් දුන්නේ මේ කාන්තාව ගැන සොයා බලන ලෙසය.

එහිදී හෙළිව ඇත්තේ ඇය දින ගණනක් නිරාහාරව සිටින බවත් දරුවාටද කිරිපිටි කිසිවක් නොමැති බවය. වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා තම මුදලින්  දරුවාට හා මවට අවශ්‍ය ආහාරපාන හා දරුවාට කිරිපිටි ලබාදෙන ලෙසත් එසේම සිර මැදිරියේ සිටි සැමියාටද අවශ්‍ය ආහාරපාන ලබාදෙන ලෙසත් එකී  නිලධාරිනියට උපදෙස් දී ඇත්තේය.

ඇතැම් පොලිස් නිලධාරීන් විසින් තම නිල කබායට පවා  නොගැළපෙන සිද්ධීන් කරන බව නිතර වාර්තා වන නමුත් මෙවැනි නිලධාරීන්ද පොලිස් සේවයේ නැතුවා නොවේ.

අම්බලන්ගොඩ – ධර්මදාස සිරිවර්ධන