විශ්‍රාමික හමුදා නිලධාරියා ගෑස් සිලින්ඩර් උස්සලා

0
9

ත්‍රිරෝද රථයකින් පැමිණ බළපිටිය පාතේගම පිහිටි ගෑස් අලෙවිහලකින් හිස් ගෑස් සිලින්ඩර් සොරකම් කරන ලද බව කියන අයකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා පෙරේදා (19දා) නියම කළේය.

මෙසේ ඇප මත නිදහස් කරනු ලැබුවේ බළපිටිය බේරතුඩුව ශ්‍රී  ධම්මධාර මාවතේ නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඉකුත් හය වැනි දින මධ්‍යම රාත්‍රි මෙම ගෑස් අලෙවිහලේ හිස් ගෑස් සිලින්ඩර සෙලවෙන ශබ්දයක් ඇසී වෙළෙඳසල් හිමියා අවදි වී බලන විට දෙදෙනකු විසින් හිස් ගෑස් සිලින්ඩර ත්‍රිරෝද රථයට පටවන අවස්ථාවේ සැකකරුවන් අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ත්‍රිරෝද රථය පලාගොස් තිබේ.

රුපියල් අනූ අටදහසක් වටිනා ලිට්රෝ වර්ගයට අයත් නිල් පැහැති කිලෝ පහේ ප්‍රමාණයේ සිලින්ඩර දෙකක් සහ කිලෝ ‍ෙදාළහේ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් ‍ෙදාළහක් සොරකම් කරගෙන ගොස් ඇති බව හා මේ පිළිබඳව අහුන්ගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය පරික්ෂා කිරීමේදී බිඳී බිම වැටි තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස වීදුරුවේ අලවා තිබූ ආදායම් බලපත්‍රය මඟින් සැකකරු සහ ත්‍රිරෝද රථය පසුවදාම අත්අඩංගුට ගැනීමට සමත්වී ඇත.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කොට මෙසේ ඇප මත නිදහස් කළ මහෙස්ත්‍රාත්වරයා අනෙක් සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියම කළේය.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති තුෂාර ජයසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක පෙරේරා මහතා ඇතුළු නිලධාරි පිරිසක් පරීක්ෂණ පවත්වති.

අහුන්ගල්ල – ඒ. සිවනෙත්ති