රනිල් ජනපතිවීමේ සතුට

0
23

ගාල්ල

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගාල්ල නගරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් ජය ඝෝෂා කරමින් සතුට පළ කළහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ අයුරුයි.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්

හැටන්

ශ්‍රී  ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා 20 දින පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් තේරී පත්වීමේ සතුට පළ කරමින් හැටන් නගරයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පිරිසක් සතුට පළ කළහ.

හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට එක්වූ එක්සත් ජාතික පාක්‍ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළ අයුරු.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි

රත්නපුර

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බහුතරයකගේ ඡන්දයෙන් මෙරට නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීම සම්බන්ධයෙන් රත්නපුර එක්සත් ජාතික පාක්‍ෂිකයෝ රත්නපුර නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළකර රත්නපුර පාම්ගඩන් ශ්‍රී  බෝධිවර්ධනාරාම විහාරස්ථානයේදී ආශීර්වාද පැතීමේ විශේෂ ආශීර්වාද බෝධි පූජා පිංකමක්ද පැවැත්වූහ.

රත්නපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හා එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර ආසනයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් මුණසිංහ මහතා මේ වන විට මේ රටේ සමස්ත ජනතාවම විඳින පීඩාවන් ඉතා කෙටි කලක් තුළ විස¼දා රටේ සමස්ත මහ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට අභිනව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ජනතාව තුළ තවමත් විශාල විශ්වාසයක් ඇති බැවින් එය ඉටුකිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ශක්තිය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව පැවැසීය.

කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක