රට හදන වැඩපිළිවෙළට සජිත්_අනුර_ඩලස් තිදෙනාගේම සහාය ඕනේ

0
8

රට හදන වැඩපිළිවෙළට සජිත්, අනුර, ඩලස් යන තිදෙනාගේම සහාය දෙන්නැයි අභිනව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.එහිදී අභිනව ජනාධිපතිවරයා මේ බවද පැවැසීය. “කථානායකතුමායි මමයි 1973දී එකට දේශපාලන ගමන ආරම්භ කළ අය. මට අද විශේෂ සතුටක් තියෙනවා ඔබතුමා මූලාසනයේ ඉද්දී මගේ පත්වීම ප්‍රකාශ කිරීම ගැන. මම අවුරුදු 45ක් පාර්ලිමේන්තුව තුළ සිටිමින් දේශපාලනය කරලා තියෙනවා. මගේ ජීවිතය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේදීයි. මේ පාර්ලිමේන්තුවෙන් මට මෙම ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා.

මීට අවුරුදු 31ට කලින් එනම් 1993දී අපි මේ ආකාරයටම රැස්වුණා. ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එදා ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාව තරගයකින් තොරව පත් කර ගන්න හැකියාව ලැබුණා. එදා එම ඡන්දයට සහභාගි වූ 15ක් පමණ අදත් මේ පාර්ලිමේන්තුව තුළ සිටින බව මම කියන්න කැමැතියි. මේ දෙවැනි අවස්ථාවේදී ප්‍රථම වතාවට අපට ඡන්දයක් ලැබුණා.

ඒ ඡන්දයේදී අප අතර සාකච්ඡාවක් ඇති වෙලා එක අතකින් අපි පෙන්නුවා අපට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතිව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න. ඒ නිසා මට යුතුකමක් තියෙනවා පළමුව මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාටම ස්තුති කරන්න. ඊට සමානව මට යුතුකමක් තියෙනවා මෙම ඡන්දයට සහභාගි වුණ සියලු දෙනාටමත් ස්තුති කරන්න.

රට අද තියෙන අමාරු තත්ත්වය ගැන අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නෑ. ආර්ථික වශයෙන් අමාරු තැනක අපි ඉන්නේ. ඒ වගේම තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ජාත්‍යන්තරයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන මොහොතක් මේක. අපි ඒවට පැටලෙන්නේ නැතිව යන්න තියෙනවා. රට ඉදිරියට ගෙන යන්න අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා.

අපි සියලුදෙනා එකට එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න බලමු. ඒ ගැන අපි සියලුදෙනා එකට එකතු වෙලා සාකච්ඡා කරමු. දෙමළ සන්ධානයේ නායක සම්පන්ධන් මහතා ඇතුළු සියලු දෙනාගෙනුත් මෙම ඉල්ලීම මම කරනවා.

පොන්නම්බලම් මන්ත්‍රිතුමාගෙනුත්, විග්නේශ්්වරන් මන්ත්‍රිතුමාගෙනුත් එම ඉල්ලීම මම කරනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු. ඒ වගේම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් එම

පක්ෂය වෙනුවෙන් මම මේ ඉල්ලීම කරනවා. මෙතැන සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙනුත් මේ ඉල්ලීම මම කරන්න කැමැතියි. අපි බෙදුන අවස්ථාව දැන් ඉවරයි.

අපිට පැය 48ක් තිබුණ බෙදෙන්න. ඒ පැය 48දී අපි බෙදුණා. දැන් ඒ කාලය අවසන් නිසා මම ඉල්ලනවා අපි එකට එකතු වෙලා සාකච්ඡා කරමු. හෙට සිට ඔබ සියලුදෙනා සමඟ සාකච්ඡා කරන්න මම කැමැතියි. මට තව ඉල්ලීමක් තියෙනවා මේ සභාවෙන් කරන්න. කථානායකතුමාගෙන් මම ඉල්ලනවා සභාවෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළදී මට ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්න අවස්ථාව දෙන්න කියලා.

අනුරාධා හේරත්,සඳුනි ගමාරච්චි