මෙරටට විදේශ විනිමය ගෙනෙන කොපු දැල්ලන් අල්ලන්න ඉන්ධන නැතිලු

0
12

මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන කොපු දැල්ලන් හෙවත් බට දැල්ලන් මේ දිනවල විශාල වශයෙන් මන්නාරම හා ඒ අවට මුහුදු තීරයෙන් හසුවන නමුත් ඉන්ධන ප්‍රශ්නය මත විශාල අස්වැන්න නෙළා ගැනීමට ධීවරයන්ට නොහැකි වී තිබේ.

ඉන්ධන ප්‍රශ්නය මත ධීවරයන්ට දැල්ලන් ඇල්ලීමට මුහුදු යෑමට නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇත. පිටස්තර පළාත්වලින් මීට පෙර කොපු දැල්ලන් මිලට ගැනීමට මන්නාරමට පැමිණි වාහන මේ දිනවල නොපැමිණෙන බව මන්නාරම ධීවර සංගමයේ සභාපති එස්. අලාම් මහතා පැවැසීය.

මන්නාරමේ ධීවරයන් මීට පෙර කොපු දැල්ලන් කිලෝවක් රුපියල් 3,000ත් 4,000ත් අතර මිලකට අලෙවි කිරීම සඳහා සමාගම් කිහිපයක් සමඟ ගිවිසුම් ගතව සිටියද මේ දිනවල එම සමාගම්වල වාහන නොපැමිණීම නිසා කිලෝවක් රුපියල් 1,200ක් බැගින් වූ තොග මිලකට දේශීය වෙළෙඳපොළට දැමීමට මන්නාරමේ ධීවරයන්ට සිදුවී තිබේ.

ඉන්ධන ප්‍රශ්නයට පෙර වාරයට බෝට්ටු 400ක් පමණ ගොස් කොපු දැල්ලන් ඇල්ලීමේ නිරත වුවත් මේ දිනවල බෝට්ටු 15ක් හෝ 20ක් පමණක් දැල්ලන් ඇල්ලීමේ නිරත බව මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ