මැදවච්චිය පූනෑව ඉන්ධන හලේ තෙල් සැපයුමට එකම පිරිසකගෙන් බාධා

0
10

මැදවච්චිය, පූනෑව පිහිටා ඇති අයිඕසී ඉන්ධන හල ඉදිරිපිට එකම පිරිසක් කලකෝලාහල ඇති කරමින් ජනතාව සහ ඉන්ධන හලේ සේවකයන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බව මැදවච්චිය ඉන්ධන පාරිභෝගිකයෝ පවසති.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 60,000ට ආසන්න ජන සංඛ්‍යාවකට මේ වනවිට තනිවම සේවාව සපයන පිරවුම්හලේ ආරක්ෂාව තර විය යුතු බවත් මේ වනවිට මැදවච්චිය නගරයේ පිහිටා ඇති ඉන්ධනහල් දෙකක් වැසී ගොස් තිබියදීත් බාධක රැසක් මැද ජනතාව හට අඛණ්ඩව ඉන්ධන සැපැයීම කරමින් සිටින ඉන්ධන හලේ කළමනාකාරිත්වයට සහ සේවකයන් හට යහපත් මානසිකත්වයකින් යුතුව සේවාවන් කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය කර දිය යුතු බව ඔවුහු වැඩිදුරටත් පවසති.

මැදවච්චිය පූනෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දෛනිකව විශාල ඉන්ධන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් රැඳී සිටින අතර ඒ තුළ ඉන්ධන ජාවාරම්කරුවන්ද රැඳී සිටින බවත් පූනෑව අවට මහා පරිමාණ ඇතැම් කූට ව්‍යාපාරිකයන් සාමාන්‍ය   ජනතාවට නොදී ඉන්ධන පෝලිමේ ඉදිරිය තැරැව්කරුවන් යොදා  ඉන්ධන ඩැහැගනිමින් තොග රැස් කරමින්ද සිටින බවත් ඔවුහු පවසති. එවැනි ජාවාරම්කරුවන් කිහිපදෙනකු පසුගිය දිනවල පූනෑව පොලිස් ස්ථානයේ වැටලීම් නිලධාරීන් විසින්ද අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ පිළිබඳ පූනෑව අයිඕසී කළමනාකාරිත්වය මෙසේ කීවේය.

අපි තොග සඟවා ගැනීම් සිදු කරන්නේ නෑ. නමුත් අත්‍යවශ්‍ය සේවාවන්වලට ඉන්ධන ලබාදිය යුතුයි. එසේ නොමැති නම් රෝහල් වැසී යෑමට පුළුවන් රාජ්‍ය ආයතන වැසී යෑමට පුළුවන. බැංකු වැසී යෑමට පුළුවන්. නමුත් අපි කළමනාකාරිත්වය හැටියට මේ පිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න ගොඩාක් උත්සාහ කරනවා.

ස්වාමින් වහන්සේ නමක් වඩින රථයට ඉන්ධන ටිකක් නිකුත් කරන්න බැරි තත්ත්වයට අද සමාජය පිරිහිලා. අපිට අවශ්‍ය තීන්දු තීරණ අපි ඇතැම් වෙලාවන්වල ගන්නවා සමස්ත ජනතාව ගැන හිතලා. ඒත් විරෝධය පා මෙතැන කෑ කෝ ගහනවා. ඇත්තටම මේ ඉන්ධන හලත් නොතිබුණා නම් මැදවච්චිය ජනතාවට අත්වෙන ඉරණම දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. ඒ නිසා මෙහි පැමිණෙන චණ්ඩින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මගේ අදහස.

මැදවච්චිය – ගයාන්