මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළකගේ කෝටි දෙකක දේපළ රාජසන්තකයි

0
23

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර යුවළකට අයත් කෝටි දෙකක් පමණ වටිනා නිවාස දෙකක් සහ ඉඩම් දෙකක් පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩී.එල්.එස්. කුමාර මහතාගේ නියෝග අනුව ප්‍රතිග්‍රාහකයකු ලෙස පත්කර ඇති මොරටුව ප්‍රාදේශීය ලේකම් වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (20දා) සිදුකළ බව නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය පැවැසීය.

2021 වර්ෂයේ ජනවාරි මස හෙරොයින් ග්‍රෑම් 80ක් සමඟ මොරටුමුල්ල පොලිසිය මඟින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන මොරටුමුල්ල පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම යුවළට ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සම්බන්ධකම් ඇති බව හෙළි වී තිබිණි.

එහිදී රජයට පවරාගත් එක නිවෙසක ප්‍රධාන ‍ෙදාරගුළුදා යතුරු සමඟින් සිය භාරයට ගත් අතර අනෙක් නිවෙසේ පදිංචිව සිටින බැවින් එය නිල වශයෙන් පමණක් භාර ගැනීම සිදුවිය.

පානදුර මහාධිකරණයේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අත්හිටුවීමේ නියෝග නිකුත් කර ඇති නීති විරෝධී ලෙස උපයා ගත් මොරටුව, මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ අදාළ නිවාස සහ ඉඩම් දෙක ප්‍රතිග්‍රාහක ලෙස මොරටුව ප්‍රාදේශීය ලේකම්වරිය නම් කර ඇති හෙයින් නිල වශයෙන් එම භාරදීම් කටයුතු සිදුවිය. තවද ත්‍රිරෝද රථයක්, ටාටා බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ යතුරුපැදියක් සමඟ රන් භාණ්ඩ තොගයක් තක්සේරු වාර්තා අනුව රාජසන්තක කිරීමටද නියමිත බව එහි නිලධාරියකු පැවැසීය.

මොරටුමුල්ල පොලිසියේ හිටපු ස්ථානාධිපති කමල් බණ්ඩාර, අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල, පොලිස් කොස්තාපල් නිශාන්ත (60685), අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලක්සිරි ගීතාල් මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනුර ප්‍රේමරත්න මහතාගේ සහ සහකාර අධ්‍යක්‍ෂ 01 සහකාර පොලිස් අධිකාරි දහනායක මහතාගේ මෙහෙයවීම මත විමර්ශන අංශ තුනෙහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රශාන් උදයංග යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කර ඇත.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු