බුධගේ අපල නිසා හිතේ කරදරෙන්ද?

0
47

බුධ ග්‍රහයා වචනයට අධිපතිය. තවත් විධියකින් කියනවා නම් කතාවට මූලිකත්වය දරයි. බුධ ඥානවන්ත ග්‍රහයෙක් වන අතර ඥානයට අධිපතිත්වය දරයි. ශාස්ත්‍රයට උපන් හපන්කම් දක්වයි. හිරුට ආසන්නව බුධ ග්‍රහයා ගමන් කරයි. කෘශ වූ ශරීරයකින්ද මධ්‍යම ප්‍රාමාණික පළල් ශරීරයකින් හෙබිය. බුධ ප්‍රයෝගයෙහි දක්ෂය. සමහර විටෙක චපලය. එසේ වුවත් කාව්‍ය, වාද විවාද, චිත්‍ර දර්ශනයට ජේ‍යාතිෂ ශාස්ත්‍රයට අධිපතිත්වය දරනු ලැබේ.

ජන්මියකුගේ ධනය බුධගේ කාලයේදී

විනාශ වේ නම් ඒ අශුභව සිටින නිසයි. ගිනි බය, සොරසතුරු උවදුරු බුධගේ අශුභ කාලයේදී ශෝකය දුක ඇති වීමට හේතුවේ. ජන්මියා කපටියකු වාචාලයකු කරන්නේද බුධගේ අශුභ කාලයේදීය. කේලාම් කීමට හපන්කම් දක්වයි. දුබල  බුද්ධියක් ඇති කරයි. කතාව දුබල කරයි.              මන්ද බුද්ධිකයකු කරයි. ගොත ගසමින් කතා කරවයි. සිහිය දුර්වල කරයි. උමතු ගති ඇති කරන්නේ දුබල බුධයි. බුධ අශුභ වූ විට හිසේ රෝග, හිසේ ගත කැක්කුම් ඇති කරයි. අත්පාවල ඇඟිලිවලවල, හන්දිවල වේදනාව ඇති කරන්නේ දුබල බුධයි. ඉදිමුම් ගතිය, ස්නායු දුර්වල වීමේ රෝගාබාධ කුඩා දරුවන්ට වලිප්පුවද බුධ අශුභ දශාවේදී ඇති කරයි.

බදාදා දිනවලදී බෝධි පූජා පැවැත්වීම බුධගේ අපලවලට හොඳ පිළියමකි. විශේෂයෙන්ම බදාදා දිනක අරඹන පූජාව බදාදා දිනයකදී අවසන් කිරීම වැදගත් වේ. බලවත්ම අපලයක් වී නම් සෑම බදාදා දිනකම පූජා පැවැත්වීම කළ යුත්තකි. දින හතක් අවම වශයෙන් එක දිගට පූජා පැවැත්වීම කළ යුතුය. වැඩිම යහපතක් ලබා ගැනීමට නම් ඊසාන දිශාව බලා පූජා පැවැත්විය යුතුය.

නාමල්, නිල් මල්, කහපාට මල් වර්ග, නිල් පාට මල් මාලා සහ කහකොළ කොඩි පූජා කිරීමත් ගිතෙල්, අබ මිශ්‍ර පහන් දාහතක්, පූජා කර පූජා පැවැත්වීමත් ශ්‍රී  විෂ්ණු ප්‍රමුඛ දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතුය. පහන් පත්තු කරන විට කොහොඹ තෙල් මිශ්‍ර කිරීමත් වැදගත් වේ. තෙල් බෙහෙත් වර්ග හත් වාරයක් හෝ අටසිය වාරයක් පිරිත් කර පාවිච්චි කිරීම සුවදායකය. රතන යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, බුද්ධ ශාසන යන්ත්‍රය රිදී ආලේප කළ තඹ පත් ඉරුවක ඇඳ අටසිය වාරයක් හෝ එකසිය හත් වාරයක් පිරිත් කොට ගෙල පැලඳීමෙන් ආරක්ෂාව හා ගුණය හොඳින් ලබාදේ.

ධර්ම දානමය පින්කම් සිහි කිරීම, සිල් සමාදන් වීම, කිරිබත් උයා ගිතෙල් පැණි මිශ්‍ර කර පලතුරු සමඟ පූජා කිරීමද බුධ අපලයට පිළියමකි. ඇළ ‍ෙදාළ සිටින මාළුවන්ට වී පොරි දීම අගනේය. ජන්මියාට තදබල හිස රුදාවක් ඇත්නම් වීපොරිවලට මී පැණි මිශ්‍ර කර මාළුවන්ට දීමෙන් එය නැතිභංග වී යයි. එසේම දෙවියන්ට පින් දීමද තවත් හොඳ කටයුත්තකි.

ග්‍රහලොව වෙසෙන ළමයකු වශයෙන් බුධ හැඳින්විය හැකිය. බුධ දුර්වල වූ විට වයස්ගත වුවත් ළමා ගති දක්නට ඇත. ළමා ගති ඇති අය අපට දක්නට ලැබෙයි. හිරකරගෙන සිටින කුරුල්ලන්, ගිරවුන්, මාළුවන් නිදහස් කිරීමද අපලය සඵල වීමට උදා වූවකි. මාළුවන්ට අභය දානය දීම හොඳ පින්කමකි. සියලු සත්වයන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. එවිට ජන්මියාට බුධ අපලයෙන් මිදීමට පුළුවන.