බණ්ඩාරනායකට ලංවීම උසාවියෙන් තහනම්

0
14

ගාලුමුව‍ෙදාර ආසන්නයේ පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව ආසන්නයට මීටර් පනහක් (50) දුරින් කිසිවකුටත් ඇතුළු වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20දා) නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක්  ඉදිරිපත් කරමින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කෙරිණි.

වැඩ බලන ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් පත් වුවහොත් එම ගාලුමුව‍ෙදාර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉවත් කිරීමට හෝ පෙරළා දැමීමට සූදානමක් පවතින බවට තොරතුරක් ලද බවට කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

ඒ අනුව එම ස්ථානය අවට මේ වන විටද  විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව කොටුව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම පිළිරුව ඉතා පැරණි පිළිරුවක් බව සඳහන් කරමින් මෙහි ඉතිහාසය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කොටුව පොලිසිය ඒ අනුව මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන එම පිළිරුව ආරක්ෂා කිරීම සඳහා මීටර් පනහක් දුරින් එය ආසන්නයට කිසිවකු හෝ ඇතුළු වීම්

වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා  අදාළ නියෝගය නිකුත් කර සිටියේය.

හංසි නානායක්කාර