පොහොර හිඟයෙන් ගොවීන් අටලක්ෂ හතළිස්දහසක් පීඩාවට පත්වෙලා

0
9

පොහොර හිඟය ඇතුළු යෙදවුම්වල හිඟයත්, පිරිවැය ඉහළ යෑමත් හේතුවෙන් එළවළු හා ධාන්‍ය වගා කරන ගොවීන් අටලක්ෂ හතළිස් දහසක් (840,000) පමණ පීඩාවට පත්ව සිටින බව ගොවි අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි.

වගා කළ භූමිවල අස්වැන්න සියයට හතළිහකින් පමණ අඩුවීම මත මෙසේ ගොවීන් ආර්ථික හා සමාජ ගැටලු රැසකට මුහුණ දී සිටින බව එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා ‘මව්බිම’ට පැවැසීය.

ලොකු ලූනු ගොවීන් දෙලක්ෂ තිස්දහසක්ද, බඩඉරිඟු ගොවීන් ලක්ෂ දෙකක්ද, අර්තාපල් ගොවීන් විසිදහසක්ද, මිරිස් ගොවීන් තිස්දහසක්ද ආදී වශයෙන් පීඩාවට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

බඩඉරිඟු හෙක්ටයාර් අසූදහසකද, ලොකු ලූනු හෙක්ටයාර් පහළොස්දහසකද, මිරිස් හෙක්ටයාර් දහහතර දහසකද, අර්තාපල් හෙක්ටයාර් හයදහසකද වශයෙන් සාමාන්‍යයෙන් කන්නයකදී වගා කළද මේ වනවිට එම ප්‍රමාණයන් අඩුවී තිබෙන බව වත්තුහේවා මහතා ප්‍රකාශ කළේය.

නුවරඑළිය, බදුල්ල, මොනරාගල, අම්පාර, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, තණමල්විල, දඹුල්ල, මාතලේ, වවුනියාව ආදී දිවයිනේ ප්‍රධාන වශයෙන් එළවළු හා ධාන්‍ය වගා කරන ගොවීන් මෙම තත්ත්වයට මුහුණ දී සිටින බවද හෙතෙම කීවේය.

එළවළු වගාවන් සඳහා යොදන කලවම් පොහොර මිටියක් රුපියල් විසිහත්දහසත් හතළිස්දහසත් අතර මිලදී ගැනීමට සිදුව ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොවීන් සඳහා අඩු මුදලට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළකට කඩිනමින් යා යුතු බවද හෙතෙම පැවැසීය.

දැනට වී ගොවිතැනට පමණක් ලබාදීමට ගෙනැවිත් ඇති යූරියා පොහොර එළවළු ගොවීන්ටද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බවද වත්තුහේවා මහතා සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගෙ