පොරොන්දු වූ අය දුන්නේ නෑ

0
53

ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබාදෙන බවට පොරොන්දු වී සිටි මන්ත්‍රිවරුන් පිරිසක් එම පොරොන්දුව කඩ කිරීම නිසා රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට ඊයේ (20දා) අවස්ථාව උදාවූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

එය රහසිගත ඡන්දයක් නිසා ඡන්දය නොදුන් පුද්ගලයන් කවුද කියා හඳුනා ගැනීමට හැකියාවක් නොමැති නමුත් මුදල්වලට හෝ වෙනත් ප්‍රතිලාභයන් බලාපොරොත්තුවෙන් ඔවුන් එසේ සිය මතය වෙනස් කරගන්නට ඇති බවට සැකයක් පවතින බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම ඡන්දය ලබා දෙන බවට පොරොන්දු ලබාදී සිටි එම මන්ත්‍රිවරුන් සිය මතය වෙනස් කර නොගත්තේ නම් ඩලස් අලහප්පෙරුම ඡන්ද 110ට වැඩි සංඛ්‍යාවක් ලැබී අනිවාර්යයෙන්ම ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට ඉඩ තිබූ බවද ඒ මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා 8 වැනි විධායක  ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වුවද ඔහුගේ ප්‍රතිපත්ති රටට ඉතාම අහිතකර බවද ඔහුට ජාත්‍යන්තර සබඳතා තිබෙන බව ඇතැමුන් පැවැසුවද ඔහුට එවැනි සම්බන්ධතා නොමැති බව පසුගිය මාස දෙකක කාලය තුළ ඔහු කළ ක්‍රියාකාරකම්වලින් දැක ගැනීමට ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් තවදුරටත් ආරක්ෂා කරන බව ඔහු  පාර්ලිමේන්තුවේදී ඊයේ කළ කතාවේදී පවා තහවුරු වූ බවද නානායක්කාර පැවැසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහනය සඳහා කටයුතු කළ පිලේ අයටද ඒ සඳහා එක්වන ලෙස එවැනි ඉල්ලීමක් ලදහොත් ඒ පිළිබඳව කණ්ඩායමක් වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගත යුතුව ඇති බවද ඔහු පැවැසීය.

ඩලස් අලහප්පෙරුම සහාය ලබා දුන් සියලුම පක්ෂ ඉදිරියේදීත් එකම කණ්ඩායමක් වශයෙන් එකට එක්ව කටයුතු කරන්නේද යන්න පිළිබඳව පිළිතුරක් ලබාදීමට මේ අවස්ථාව කල් වැඩි බවද මේ පිළිබඳව ‘මව්බිම’ ඇසූ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත