පළමු ටෙස්ට් තරගයෙන්ම ශ්‍රී ලංකාවට කඩුලු 4ක පරාජයක්

0
27

ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20දා) අවසන් වූ පළමු තරගයෙන්ම කඩුලු 4ක ජයක් ලැබීමට පාකිස්තානය සමත්වූයේ තරගාවලියද 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිමිනි.

ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 342ක ඉලක්කයක් පසුපස ගිය පාකිස්තානය කඩුලු 6ක් පමණක් අහිමි කරගනිමින් පස්වැනි දිනය වන ඊයේ (20දා) තේ පානයෙන් පසු නියමිත කඩඉම පසුකර ගියේය.

එහිදී පාකිස්තානය වෙනුවෙන් අබ්දුල්ලා ෂෆීක් නොදැවී ලකුණු 160ක් ලබාගත් අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම බවටද පත්විය.  විනාඩි 524ක කාලයකදී පන්දු 408ක් පුරා විහිදුනු ෂෆීක්ගේ ඉනිමට හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

පෙරේදා දිනයේදී කඩුලු 3කට ලකුණු 222ක් ලබා සිටි පාකිස්තානු පිල ඊයේ දිනයේදී කිසිදු අපහසුවකින් තොරවම සිය ඉලක්කය කරා ගමන් කළේය. පෙරදිනයේදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි අබ්දුල්ලා ෂෆීක් සහ මොහොමඩ් රිෂ්වාන් ඊයේ දිනයේදීද තවත් ලකුණු 54ක් එක්කරමින් සිටියදී රිෂ්වාන් ලකුණු 40ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට ජයසූරියට හැකිවිය.  දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් එක් වී තිබූ අතර, පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 276ක් ලෙස දැක්විණි.

රිෂ්වාන්ගේ දැවී යෑමෙන් අනතුරුව ෂෆීක්ට එකතු වූ අගා සල්මාන් පාකිස්තානු ඉනිම ජයග්‍රහණ කරා රැගෙන යෑමට වෙර දැරූවද ජයසූරිය නැවතත් එයට හරස් කැපීය. ඒ අනුව දිවා භෝජනයට සුළු වේලාවකට පෙර ජයසූරියගේ පන්දුවක් හමුවේ දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දී සල්මාන් ලකුණු 12කට දැවී යන විට පාකිතානය කඩුලු 5කට ලකුණු 298ක් බවට පරිවර්තනය විය.  දිවා භෝජනයෙන් පසු යැවූ දෙවැනි පන්දුවාරයේ (ධනංජය යැවූ පළමු පන්දුවාරය) දෙවැනි පන්දුවට ලකුණු 5ක් ලබා සිටි හසන් අලී දවාගත් ශ්‍රී ලංකාව පාකිස්තානයට යම් පීඩනයක් එල්ල කළේය.

පාකිස්තානයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 11ක් ඉතිරිව තිබියදී පෙරවරු 1.27 පමණ ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය මඳකට නතර කිරීමට විනිසුරුවන් පියවර ගත්තද පස්වරු 2.30ට පමණ නැවතත් තරගය ආරම්භ විය. 

කෙසේ වෙතත් එක් අන්තයක් සුරැකිව ආරක්‍ෂා කරගත් අබ්දුල්ලා ෂෆීක් ජයග්‍රහණය කරා පාකිස්තානය රැගෙන ගියේය.

පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේදී මෙන්ම මෙම තරගයේදීද පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය පාකිස්තානු දෙවැනි ඉනිමේදීද ලකුණු 133කට කඩුලු 4ක් දවාගත් අතර, මුළු තරගයේදී ලකුණු 215කට කඩුලු 9ක් ලබාගැනීමද විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ පාකිස්තානය ලකුණු 218කට සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි. ලකුණු 4ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඇරැඹූ ශ්‍රී ලංකා පිලෙන් අර්ධ ශතක තුනක් (චන්දිමාල් නොදැවී 94, කුසල් මෙන්ඩිස් 76, ඕෂධ ප්‍රනාන්දු 64) වාර්තා වීම හේතුවෙන් ලකුණු 337ක් ලබාගැනීමට හැකිවිය. තරගයේ වීරයා ලෙස අබ්දුල්ලා ෂෆීක් සම්මාන දිනාගත් අතර, දෙරට අතර මෙම පිටියේදීම පැවැත්වෙන දෙවැනි හා අවසන් තරගය එළැඹෙන 24 වැනිදා ආරම්භවීමට නියමිතය.

විචිත්‍ර වීරසිංහ – ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ සිට…