දියුණුවෙන් දියුණුව ගෙනෙන සුබ නිවෙසක් හදමු

0
41

නිවෙසක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් තෝරාගත් පසුව බහිරව පූජාවක් තැබීම පෙර සිට පැවත එන සම්ප්‍රදායකි. බහිරවයා ගැන විවිධ මත ඇති අතර ඉඩමක් අයිතිව සිට එම ඉඩම ගැන ආශාවෙන් මියගිය පුද්ගලයකුගේ භූත ආත්මයක් මෙසේ බහිරවයකු ලෙස සිටිනා බවට විශ්වාසයක් පවතී. මියගිය පුද්ගලයා ජීවතුන් අතර සිටියදී පින් දහම් කර ගෙන ඇති විට බහිරව ආත්මයක්ද අකුසල් කරගෙන ඇතිවිට ප්‍රේත ආත්මයක්ද ලබන බවට මතයක් ඇත. බිම් කොටසක නව නිවෙසක් ඉදිකිරීමට පෙර බහිරව පූජාවක් තැබීමෙන් බලාපොරොත්තු වන්නේ මෙසේ එම ඉඩමට ආශාවෙන් එහි සිටින භූත ආත්මවලට අවශ්‍ය පිදේනි සපයාදී එම අමනුෂ්‍ය බලපෑම් ඉවත්කර නිවෙස බාධාවකින් තොරව ඉදිකර ගැනීමත් නිවෙස ඉදිකිරීමෙන් පසුව පදිංචි වන අයට බාධාවකින්  තොරව සාමකාමී ජීවිතයක් ගතකිරීමට හැකි වීමත්ය.

නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා නියමිත සුබ මුහුර්තයක් සකස් කර ගත යුතුය. දෝෂ සහිත මුහුර්ථයකින් නිවෙස ඉදිකිරීම ආරම්භ කළ විට නිවෙසේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතුණු අවස්ථා වාස්තු විද්‍යාඥයන්ගේ පර්යේෂණවලට ලක්වී ඇත. එමෙන්ම නිවාස සැලැස්මේ ප්‍රධාන වාස්තු දෝෂ තිබුනු විටද නිවෙස ඉදිකර අවසන් කර ගැනීමට නොහැකි වේ.

නිවෙසක දිග, පළල මැනීමට පෙරකල සිට භාවිත කළ මිම්ම වඩු රියනයි. වඩු රියනක දිග අඟල් 31ක් ලෙස සම්මත කරගෙන ඇතත් ගෙහිමියාට අවශ්‍ය නම් තමන්ගේ දකුණු අතේ වැළමිට කෙළවර සිට මැද ඇඟිල්ලේ කෙළවර දක්වා ඇති ප්‍රමාණයත් එක් වියතකුත් අඟල් හතරක ප්‍රමාණයකුත් තමන්ගේ වඩු රියන ලෙස සලකා තම නිවෙසේ දිග පළල මැන ගත හැකිය.

නිවාස වර්ග

ඔබ නිවාස සැලැස්මක් පිළියෙල කර ගැනීමට කලින් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණක් තමයි සම්පූර්ණ නිවෙසේ වර්ගඵලය. නිවෙසකට යටවන වර්ගඵලය ගෘහ පිණ්ඩය ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වේ. වඩු රියන් ක්‍රමයට හෝ වෙනත් සම්මත මිම්මක් භාවිත කර නිවෙසේ දිග, පළලින් වැඩිකර වර්ගඵලය සොයා ගත යුතුය. එම ලැබෙන වර්ගඵලය අටෙන් බෙදූ විට ලැබෙන ශේෂය අනුව පැරැණි වාස්තු විද්‍යාවේදී නිවාස ආය වර්ග අටකට බෙදා ඇත. ගෘහයක පවතින සුබ අසුබ මූලික වශයෙන් තීරණය කරනු ලබන්නේ ආය පරීක්ෂණයකින්ය.

ධ්වජ ආය

වර්ගඵලය අටෙන් බෙදූ විට ලැබෙන ශේෂය 1 නම් එම නිවෙස අශ්ව වර්ගයට අයත් නිවෙසකි. අශ්ව වර්ගය ධ්වජ ආය ලෙස හඳුන්වනු ලබන අතර මෙවැනි නිවෙසක් රාජකීයයන්, උසස් තනතුරු දරන්නන් සඳහා සුදුසු බවද සුබ පල ගෙන දෙන නිවෙසක් ලෙසද සැලකේ.

ධූම ආය

වර්ග ඵලය අටෙන් බෙදූ විට ලැබෙන ශේෂය දෙකක් නම්, එම නිවෙස කොටළු වර්ගයට අයත් වේ. කොටළු වර්ගය ධූම ආය ලෙසද හඳුන්වනු ලබන අතර මෙවැනි නිවෙසක් පදිංචිය සඳහා සුදුසු නැත. මෙවැනි නිවෙසක පදිංචි වන ගෙහිමියා දුප්පත් වේ.

සිංහ ආය

නිවෙසක දිග, පළල ගුණකර ලැබෙන වර්ගඵලය අටෙන් බෙදූ විට තුනක් ඉතිරි වේ නම් එම නිවෙස සිංහ වර්ගයට අයත්ය. මෙවැනි නිවෙසක පදිංචි වන ගෙහිමියා සියලු සැප සම්පත්, යස ඉසුරු සපිරි කෙනකු බවට පත්වේ.

එය සුනඛ වර්ගයට අයත් (ශ්වාත ආය) නිවෙසක් ලෙස භාරත වාස්තු විද්‍යාවේ සඳහන් වන අතර මෙවැනි නිවෙසක් මිනිස් වාසයට නුසුදුසු බවද ගෙහිමියාට යන යන තැන පිළිගැනීමක් නොමැති වන බවද සඳහන් වේ.

වෘෂභ ආය

නිවෙසක වර්ගඵලය අටෙන් බෙදූ විට ඉතිරි වන අගය 05ක් නම් එම නිවෙස වෘෂභ වර්ගයට අයත් වේ. මෙවැනි නිවෙසක පදිංචි වන ගෙහිමියා ජනතාව සමඟ උරෙන් උර ගැටී වැඩ කරමින් ජන නායකයකු බවට පත්වන බව භාරත වාස්තු විද්‍යාවේ සඳහන් වේ.

ඛර ආය

නිවෙසක දිග පළල වැඩිකර ලැබෙන වර්ගඵලය අටෙන් බෙදූ විට ඉතිරි වන්නේ 06ක් නම් එම නිවෙස ඛර ආයට අයත් වේ. මෙවැනි නිවෙසක පදිංචි වූ විට නිතර ලෙඩ දුක් ඇති වී පරිහානියට පත්වන බව සඳහන් වේ.

ගජ ආය

වර්ගඵලය අටෙන් බෙදූ විට හතක් ඉතිරිවන නිවාස ගජ ආයට අයත් වේ. මෙවැනි නිවෙසක පදිංචි වූ විට නිරෝගී බව ඇති වී සතුටින් ජීවත් වීමට හැකිවේ.

කාක ආය

වර්ගඵලය අටෙන් බෙදූ විට ශේෂයක් නැති නම් එම නිවෙස අයත් වන්නේ කාක වර්ගයටයි. මෙවැනි නිවෙසක පදිංචි වන්නන් නොයෙකුත් ලෙඩදුක් කරදර මැද ජීවත් වෙමින් දිනෙන් දින පරිහානියට පත්වේ.

මේ අනුව බලන විට මෙම ආය අට අතරින් : ධ්වජ, සිංහ සහ ගජ නම් ආය සුබ පල දෙන ආය ලෙස හැඳින්වෙන අතර ධූමශවාක, ඛර සහ කාක ආය සතර වර්ගය අසුබ පල දෙන ආය වශයෙන් වාස්තු විද්‍යාවේදී හැඳින්වේ.

දැනට වාස්තු විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු වන නිවාසවලින් බොහෝමයක්ම නිවැරදි දිග පළල අනුව ඉදිකර ඇති බව පෙනී යන අතර කලාතුරකින් අසුබ ආයකට නිර්මාණය කරන ලද ගොඩනැඟිලි ද හමුවේ. අසුබ ආයක් සහිත නිවෙසක පදිංචිව සිටින අය නිතරම ප්‍රශ්නගතව කාලය ගෙවන බවද ඉතාමත් අසීරු වූ ගණනය කිරීමෙන් පසුව ගෙබිම දිග, පළල සීරු මාරු කර ඒ අනුව ගෘහ ක්ෂේත්‍රය සියුම් ලෙස වෙනස් කළ ගෙහිමියන් සතුටින් ජීවත් වූ අවස්ථා ගැන ද අත්දැකීම් රාශියක් අප සතුව ඇත.

ජේ‍යාතිෂ විද්‍යා විශාරද ජේ‍යාතිෂ ශිරෝමනී 

අගලවත්තේ 

චන්දන වීරක්කොඩි

0775489695