තෙල් ප්‍රමුඛත්වය පොදු ප්‍රවාහනයට

0
12

මෙරටට ලැබී ඇති ඉන්ධන තොග බෙදාහැරීමේදී පොදු ප්‍රවාහනයට ඉහළ ප්‍රමුඛස්ථානයක් දී බෙදාහැරීමට කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මඟින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් සඳහා එම බස් ධාවනය අනුව ඉන්ධන කෝටාවක් දීමට කටයුතු කරන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

එමඟින් රට තුළ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බවත් මහජනතාව තම පෞද්ගලික වාහන භාවිතයෙන් ඉවත්වී පොදු ප්‍රවාහනයට එක්වීමෙන් ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩුකර ගැනීමට හැකි බවත් හෙතෙම කීය.

ලංගම ඩිපෝ මඟින් රටපුරා පෞද්ගලික බස් සඳහා ඉන්ධන දීමේදී මීට වඩා කාර්යක්ෂම අයුරින් කටයුතු කරන්නැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පෙරේදා (19දා) පෙරවරුවේ පැවැති නිලධාරි හමුවකදී බන්දුල ගුණවර්ධන විසින් ලංගම සභාපතිවරයාට දැනුම් දී ඇත.

මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති අමත්‍ය කංචන විජේසේකර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු හා ප්‍රවාහන සංගම් නියෝජිතයෝ් සහභාගි වූහ.

මිතුන් ජයවර්ධන