ජේ.ආර්. ගේ මාමා!

0
287

“ඔබ තනි ආසනයක් අරගෙන ආපු පුද්ගලයෙක්’ ඒ ආසනෙත් ඔබට හම්බුණේ ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්න. එහෙම ඔබට ජනාධිපති වෙන්න පුළුවන්ද?”

වරක් රූපවාහිනී නිවේදකයෙක් රනිල්ගෙන් ඇසුවේය.

“ඇයි ජනාධිපති වෙන්න බැරිද?”

රනිල් ඇසුවේ එපමණකි. රනිල් එහෙම අහල මාස තුනක් ගියේ නැත. දැන් රනිල් ජනපතිය. මුළු ලෝකය හමුවේ අන්ත පරාජිතයෙක් වූ රනිල් වික්‍රමසිංහ හදිසියේම ජයග්‍රාහකයෙක් වූයේය.

එක්තරා අතකට නොව කිහිප අතකින්ම එය විස්මයකි.

කිසියම් කලක් සිහිමූර්ඡා වී සිටි පුද්ගලයකු නැවත එයින් මිදුණු විට මේ රටේ සිදුව ඇත්තේ කුමක්දැයි අදහාගත නොහැකිව විමතියට පත්වනු ඇත.

ඒ තරමට අදහාගත නොහැකි සිදුවීම් පෙළක් පසුගිය මාස කිහිපය තුළ සිදුවිය.

මේ රටේ අති විශාල ජන වරමකින් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ පලාගොස් රටින්ද නික්ම ගියේය.

මෙරට පාර්ලිමේන්තුවේ එක අසුනක් පමණක් ජාතික ලැයිස්තුවෙන් ලබාගත් පුද්ගලයකු අදහාගත නොහැකි ලෙස රටේ ජනාධිපති බවට පත් වුණේය. එහෙම එක ආසනයක්වත් නොතිබූ පුද්ගලයා පාර්ලිමේන්තුවේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සිය ජනාධිපති ධුරය තහවුරු කර ගත්තේය.

ඇත්ත වශයෙන්ම එය එක්තරා මැජික් එකකි. මෙරටට නිදහස ලබා දීමට මුල් වූ ඩී.එස්. සේනානායක මහතා විසින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය මෙරට දිගු කලක් පාලනය කළ දේශපාලන පක්ෂය විය.

94 සිට එහි නායකයා බවට පත්වූයේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂය ඉහළට එනවා වෙනුවට සිදු වුණේ මොහොතින් මොහොත පල්ලම් බැසීමය. එය මොන තරම් උග්‍ර තලයකට පිවිසියේද යත් අවසානයේදී  ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් දක්වාම එජාපය පහළට ගියේය.

“මේ ලෝකෙ කණපිට හැරිලා ආපහු අනෙක් පැත්ත හැරෙන්න පුළුවන්. හැබැයි ආපහු රනිල් බලය අල්ලනවා බොරු.”

බොහෝ දෙනා කීවේ එහෙමය. සාමාන්‍යයෙන් මිනිසුන් තබා දේශපාලනය පිළිබඳව විචාර කරන විශ්ලේෂකයන් පවා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය මරණයට පත්වී ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය ලංකාවෙ පැරණිතම දේශපාලන පක්ෂයකි. ලංකාවට නිදහස ලබාදීමේ සිට 1993 දක්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහීව පෙරට ආ පක්ෂයකි. 94 චන්ද්‍රිකා පළමුවැනි ඉනිම එක විකට් එකක් තියාගෙන නිදහසේ ගැහුවෙ විපක්ෂ නායක රනිල්ගේ තරම හින්දාය. දෙවැනි වටේත් එහෙමම ගැහුවේ එජාපය කරකවා අතාරිමින්ය.

එජාපය 94 පටන් ගත්ත පැරදිල්ල 2001 වනතුරු නැවතුණේ නැත. 2001 යාන්තම් යූ.ඇන්.පී. ආණ්ඩුවක් අටවා ගත්තද ඒකට වැඩි ආයුෂ තිබුණෙත් නැත. තිබුණු කෙටි කාලය ඇතුළත කම්කරු රස්සාවක්වත් ලැබුණේත් නැත. 2001 යූ.ඇන්.පී.ය නැවතුණේ හරහටම වැටිලාය. 77 ශ්‍රී ලංකා එකවත් එච්චර කුණාටුවකට හසුවූයේ නැත. එතැනින් වැටුණු වැටිල්ලෙන් ඔළුව උස්සන්න යූ.ඇන්.පී.යට මහින්ද ඉඩක් දුන්නෙත් නැත.

2014 වෙනතුරු මහින්ද යූ.ඇන්.පී.ය නන්නත්තාර කොට දැම්මේය. ඒ අස්සේ කොහොම කොහොම හරි පාක්ෂිකයන් වෙනුවෙන් පාර්ලිමේන්තු ආ යූ.ඇන්.පී.ය මන්ත්‍රිවරුත් බුරුතු පිටින් බාගත්ත මහින්ද කප පවතින තුරු ‘අලි’ නැඟිටින්නේ නැති බවට පාරම් බෑවේය. යූ.ඇන්.පී. එක වෙනුවෙන් කැප වෙච්ච කොල්ලන්ට කෙල්ලන්ට ඉතිරි වුණේ බලාගෙන ඉන්න එක විතරය. 94 පරදිනකොට අවුරුදු 20ක නාඹර වයසේ හිටිය යූ.ඇන්.පී. කොල්ලෝ 2015 වෙනකොට හතළිහ පැන්න තාත්තලාය. ‘යහපාලන ආණ්ඩුව’ එනකොට හිටියේ 94 පරදිනකොට අවුරුදු 20ක් වෙච්ච කොල්ලන්ගේ අවුරුදු 18ක දරුවෝය.

94 කොල්ලෝ දැන් දඟලන්නේ මේ වෙනකොට 18 ඉන්න දරුවාටවත් යමක් කරගන්න පුළුවන් වෙයිද කියලාය. 2001 බලය ගත්ත රනිල්ගේ ආණ්ඩුව රස්සා දෙන එක නතර කළේ ආර්ථිකයෙන් හරහට වැටුණු රට ගොඩ ගැනීම ප්‍රමුඛ කාර්යය විධියට හිතලාය. ‘කටු අත්තේ මල් පූදින්න කල් වුවමනා බව’ එකල ප්‍රකට කියමනක් විය. යූ.ඇන්.පී. කාරයෝ ඉවසාගෙන සිටියහ. අන්තිමට රනිල්ගේ සහජීවනයට පයින් ගැසූ චන්ද්‍රිකා ආණ්ඩුව උදුරා ගත්තේය. රනිල් එජාපය භාර ගත්තාට පසු පක්ෂය හැරගිය ජනතා නායකයන් වියතුන් අප්‍රමාණය.

මුල් වටයේදී සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ඇතුළු පිරිසක් පක්ෂය හැර ගියේය. ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැපවූ පතාක එජාප නායකයන් සිය ගණනක් පක්ෂය හැර ගියේ රනිල්ගේ පක්ෂය රැකීමේ තරම නිසාය. එච්.එම්. මොහොමඩ්, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, ධර්මදාස බණ්ඩා, ඕලිත ප්‍රේමරත්න, කෙහෙලිය රඹුක්වැල්ල, තිස්ස අත්තනායක, පී. දයාරත්න, රුක්මන් සේනානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, රෝහිත බෝගොල්ලාගම, අර්ල් ගුණසේකර, මහින්ද සමරසිංහ, මොහාන් ග්‍රේරෝ, නියෝමාල් පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, කරු ජයසූරිය, වි.ජ.මු. ලොකුබණ්ඩාර, හැරල්ඩ් හේරත් ඇතුළු අදහාගන්නට බැරි තරමේ දිග ලැයිස්තුවක් එජාපය හැරගොස් තිබේ.

එජාපය දිනවන්නට ආ දෙදෙනකු හැර සෙසු සියලුදෙනා රනිල් අතැර ගොස් තිබේ.

අන්තිමට රනිල්ට කිසිවකු ඉතුරු නොවුණේය. ඔහු පහුගිය මැතිවරණයට පැමිණියේ හැමෝම ඔහුට සිනාසෙද්දීය.

එක අතකට රනිල්, දහනායක වගේ යැයි සමහරු කියයි. තව අටකට රනිල්, ජේ.ආර්. වගේ යයි තවත් සමහරු කියති.

සාමාන්‍යයෙන් ඇත්ත කතාව වන්නේ රනිල්ගේ මාමා ජේ.ආර්. බවය. සාමාන්‍යයෙන් එය ඇත්ත වුවත් හරියට රනිල් කියවන කෙනකුට වටහා ගන්නට පුළුවන් වන්නේ රනිල් ජේ.ආර්. ගේ මාමා වගය.

රනිල් යනු ඒ තරමට අදහාගත නොහැකි චරිතයකි. තනි ආසනයක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණ ඔහු ආණ්ඩුවකුත්, විපක්ෂයකුත් කරකවා අතහැරියේය. තුෂ්ණිම්භූත කොට දැමුවේය. තනි මිනිසා රටේ ජනාධිපති බවට පත්විය.

එක් අතකට මෙය පුරාවෘත්තයකි. තවත් අතකට මෙය අදහාගත නොහැකි මැජික් එකකි. කොයි අතින් බැලුවත් විස්මයකි.

“ප්‍රශස්ත දේශපාලනඥයකු ලෙස  දෘෂ්ටියක් තිබුණද  රනිල් වික්‍රමසිංහ තුළ ඔහුට ආවේණික දුර්වලතා මෙන්ම සීමාවන් දක්නට තිබේ. තුන්වැනි ලෝකයේ දේශපාලන සංස්කෘතියට රනිල් වික්‍රමසිංහ නොගැළපෙන්නේ මේ නිසාය. තවද  රනිල් තුළ යම් ආකාරයක සන්නිවේදන ගැටලුවක් තිබේ. එසේම ජනතාව අතරදී ඔහු තුළ තිබෙන අඩු සභානුභූතිය කැපී පෙනෙයි. ඔහු තමා කේන්ද්‍ර කොට (self centered) තීරණ ගන්නෙකි. අන්‍යයන්ගේ හැඟීම් වටහා ගැනීමේ දුබලතාවක් තිබේ. මේ නිසා ඔහු තුළ මඳ වශයෙන් වර්ධනය වූ ඕටිස්ටික (Autism) ලක්ෂණ තිබෙන බව සැක කළ හැකි සාධක තිබේ. සාමාන්‍ය ජනතාව රනිල් වික්‍රමසිංහ ‘මිස්ටර් බීන්’ ලෙස උපමා කරන ලද්දේ මේ ඕටිස්ටික ස්වභාවයන් නිසාය. එසේම ඔහු අන්තර්වර්තික (introverted) චරිතයකි. මෙවැනි චරිත තුන්වැනි ලෝකයේ දේශපාලන පොර පිටියට නොගැළපෙන්නේය.

රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධන මෙන් බලය කෙරෙහි ආශක්ත වූ චරිතයක් නොවේ. ඔහු ඉවසිලිවන්ත හා අකර්මණ්‍ය චරිතයකි. දේශපාලන ප්‍රවාහයන් නිර්මාණය කරනවාට වඩා මතුවන දේශපාලන ප්‍රවාහය ඔස්සේ පිහිනා යෑම ඔහු ප්‍රිය කරයි. බලය ලැබුණු වහාම ඔහු තමාට බලයට ඒමට පාර සකසා දුන් පුද්ගලයන් අතහැර තමන්ගේ සීමා සහිත වූ මිතුරු අභ්‍යන්තර කවය උකුලට ගනියි. මේ නිසා රනිල් පාක්ෂිකයන්ගේම ‍ෙදා්ෂ දර්ශනයට ලක් වෙයි. මේ තත්ත්වය රනිල් තුළ ඇත්තේ ඔහු තම පන්තිය පදනම් කොට සිතීම නිසාය. ඔහු වඩාත්ම විශ්වාස කරන්නේ තමන්ගේ මිතුරු කවයයි. ඔවුන් අතරදී රනිල්ට සුරක්ෂිතභාවයක් දැනේ. තීරණ ගැනීමේදී මේ අභ්‍යන්තර කවයට ඔහු සවන් දෙයි. මේ නිසා ඔහු ඇතැම් විට හානිදායක තීන්දු ගනී” යනුවෙන් වෛද්‍ය නිහාල් පී. ජයතුංග පවසා තිබේ.

රනිල්ගේ මුළු ජීවිත කාලය පුරාම තිබුණේ හීන දෙකකි. එකක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සිටිමින් විපක්ෂ නායක ධුරය දැරීමය. අනෙක කවදා හෝ රටේ ජනාධිපති වීමය.

රනිල් ඒ දෙකම කළේය. ඔහු ඒක කළේ පින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසද, පින් අගමැතිවරයකු ලෙසද, පින් වැඩ බලන ජනාධිපතිවරයකු ලෙසද යන්න වැඩක් නැත. දේශපාලනය යනු මෙයයි. ඔහු අද රටේ ජනාධිපතිය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පහත සටහන තබා තිබේ.

“1994දී UNP කෘත්‍යාධිකාරි මණ්ඩලය පවා ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදුන්, 1999දී හා 2005දී ජනාධිපති කිරීමට UNP පාක්ෂිකයන්ටත් නොහැකි වූ, 2010, 2015, 2019දී ජනාධිපති අපේක්ෂකත්වය නොදී  වෙන කෙනකුට ලබාදීමට UNP කෘත්‍යාධිකාරි මණ්ඩල කටයුතු කළ, 1994 සිට වසර 25ක් UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයටත්, UNP පාක්ෂිකයන්ටත්, UNP හිතවතුන්ටත් ජනාධිපති පුටුවේ වාඩි කළ නොහැකි වූ, UNP නායක රනිල් වික්‍රමසිංහව 2020 අගෝස්තු මහ මැතිවරණයෙන්, රනිල්ගෙන් රට, ජාතිය ආගම බේරාගන්නට, ඡන්දය අරන් පාර්ලිමේන්තුවට ආ මහින්ද, නාමල්, චමල්, ශෂීන්ද්‍ර, නිපුණ පෙරටු කරගත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විසින් 2022 ජූලි 20දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති පුටුවේ වාඩි කරවන ලදී.

දැන් ඉතින් පෙර පරිදි පොහොට්ටු – UNP – ශ්‍රිලනිප – සජබ… යනාදී ලෙස ගමේ කඩපොළේ, වැඩබිමේ, ගොවිපොළේ, නාන තොටේ, බස් එකේ, දුම්රියේ, බෝට්ටුවේ, club එකේ, pub එකේ, මළගෙදර, බණ ගෙදර, දානෙ ගෙදර, පිරිත් ගෙදර, මඟුල් ගෙදර, fb එකේ, twitter එකේ… තමන්ගේ මන්ත්‍රි වෙනුවෙන් ගහ මරා ගමු.!”

බලාගෙන ගියාම කතාව ඇත්තය.

 වරක් දේශපාලන විශ්ලේෂක චන්ද්‍රසිරි සෙනෙවිරත්න “රනිල් වික්‍රමසිංහ ලංකා දේශපාලනයෙන් ඉවත් කළ සපත්තුවකි” යනුවෙන් පැවැසීය. තනි සපත්තුවකින් ඇති ප්‍රයෝජනයක් නැත. එක්කෝ ඉවතට විසි කළ යුතුය. නැතහොත් එවැනි තවත් සපත්තුවක් සොයා සපයාගත යුතුවේ. තනි සපත්තු විකිණීමට නැත. තනි සපත්තුවක් හදන්නේද නැත. හේතුව සපත්තු යනු ජෝඩු මිස, එකක් පමණක් නොවන හෙයිනි” යනුවෙන් ඔහු පවසා තබිණි.

අද, ඒත් තනි සපත්තුව මැජික්මය මෙවලමක් බවට පත්විය.

බලාගෙන ගියාම, හොඳට හෝ නරකට රනිල් යනු ඇරිස්ටෝටල්ටත් දේශපාලන පාඩම් කියා දෙන්නෙකි.

මේඝනාද