ජපන් රැකියා පෙන්වා මුදල් වංචා කර වසර දෙකක සිරදඬුවම්

0
46

ජපන් රටේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් එක්ලක්‍ෂ අසූ දහසක මුදලක් ලබාගෙන රැකියා අවස්ථාව නොදී එම මුදල් වංචා කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයකුට එක් චෝදනාවකට එක් වසර බැගින් චෝදනා දෙකට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිරදඬුවම් නියම විය.

ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් එම දඬුවම පෙරේදා (19දා) නියම කළේ දෙදරු පියකු වූ 53 හැවිරිදි විත්තිකරුවකුටය.

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් විත්තිකරු එසේ මුදල් ලබාගෙන එම මුදල් වංචා කිරිම සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ගම්පහ පොලිසිය මඟින් විත්තිකරුට විරුද්ධව ශ්‍රී  ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 403 සහ 386 වගන්තිය යටතේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවන්ට විත්තිකරුව මෙසේ වරදකරු කරනු ලැබීය. විත්තිකරුට මුදල් වංචා කිරීම සම්බන්ධව පෙර වැරැදි අටක් ඇති බවත් එම චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් විත්තිකරු දැනට සිරදඬුවම් විඳින අයකු බවටත් අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ