ගෝල්ෆේස් අරගලය දිගටම…

0
16

ගාලුමුව‍ෙදාර අරගලය ඉදිරියට ගෙන යෑමට ගෝල්ෆේස් අරගලකරුවන් ඒකමතිකව තීරණය කළ බව නීතිඥ නුවන් බෝපගේ ඊයේ (20දා) පැවැසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කරන  දිනයේ  සිට  අරගල භූමිය සක්‍රිය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවද බෝපගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊළඟ සතියේ සිට නැවත ජනතාවට පාරට බැසීමට සිදුවෙන යුගයක් නිර්මාණය වන බවද ගාලුමුව‍ෙදාර අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.

ජනමතයට විරුද්ධ පුද්ගලයකුට ජනාධිපති පුටුව ලැබීම සම්බන්ධව පුදුම නොවන බවත් වරප්‍රසාද සියල්ල රාජපක්ෂ පාර්ශ්වයට ලැබෙද්දී ජනතාවට කන්න බොන්න නැති වෙන යුගයක් නිර්මාණය වනු ඇති බවත් නුවන් බෝපගේ කීය.

ජනතාව ගෑස් පෝලීම්, ඩීසල් පෝලිම්වලදී මිය යාමත් දරුවන් කුසගින්නේ මියයෑමත් සම්බන්ධව වගකිව යුතු පාර්ලිමේන්තුවෙන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම, ජනතාවට බලය හිමිවන මහජන කවුන්සිල් නිර්මාණය කිරීම, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවන  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජනතාවට සහන ලැබෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීම, ධන කුවේරයන්ගෙන් බදු  අය කර ඒවායේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් ගෝල්ෆේස් අරගලකරුවන් ඉදිරියටත් සටන් කරන බවද බෝපගේ මහතා සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ