කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිදුවූවක් නොවේ

0
12

නව බස් ගාස්තු සංශෝධනය රුපියල් 2.00කින් අඩුවීම කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදු නොවුණු අතර මෙම මිල ගණන් අඩු කිරීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එය රට පුරා ක්‍රියාත්මක නොවුණු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති රණසිංහ පැවැසීය. ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තුව සියයට 20කින් අඩු වන බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර තිබුණත් එය ඊයේ (20දා) දිනයේ ක්‍රියාත්මක කිරීමට බස් සංගම් කිසිදු වැඩපිළිවෙළක් ගෙන නොමැති බැවින් ප්‍රදේශ බොහොමයක මගීන් දැඩි අපහසුතාවට පත් වූ බවත් හෙතෙම කීය.

බස් ගාස්තු සංශෝධනයෙන් පසුව රුපියල් දෙකක් ඉතුරු ලෙස මගීන් වෙත නොලැබෙන බව ජාතික ගමනාගමන කොමිසම හොඳාකාරයෙන් දන්නා නමුත් ඉතුරු මුදල් නොදෙන්නේ නම් පැමිණිලි කරන ලෙස පමණක් ඔවුන් සඳහන් කරන බවත් ඔහු සඳහන් කළේය.

රට පුරා බොහෝ ප්‍රදේශවලදී මේ නව මිල ගණන් වෙනස් නොවන්නේ මන්දැයි විමසීමක් කරන ලද අතර තවමත් මිල ගණන් ප්‍රදර්ශන පත්‍රිිකා තමන් වෙත නොලැබීම නිසා මිල තවම වෙනස් නොකරන ලද බවත් කොන්‍ෙදාස්තර මහත්වරු පැවැසූ බව ඔහු කීය.   

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කර බස් රථ හිමියන්ට මෙන්ම මගී ජනතාවටත් සහනයක් සලසා දිය යුතු බවත් නියාමන රාජකාරි සිදු කිරීමට වගකීම ඇති ආයතන තම රාජකාරී කිරීමට නොපැකිළ විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන