අසනීප වූ දරුවා රෝහලට ගෙන යද්දී අනතුරින් පියා මරුට

0
10

ත්‍රිරෝද රථයක් තිබුණත් ඉන්ධන නොමැති නිසා රෝගී දරුවා බිරිය සමඟ පාපැදියකින් රෝහලට ගෙන යමින් සිටි පියා පාපැදිය ගල් බැම්මක වැදී අනතුරින් මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ කළුතර සේරුපිට බොලොස්සගම සයිමන්ලාගේ ෂනික ජයනාත් නම්වූ 31 හැවිරිදි අයෙකි.

කළුතර කොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඒ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සෙන්ඩියා හේවගේ ඉරේෂා දිල්හානි (අවු. 26) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මිය ගොස් ඇත්තේ මගේ සැමියායි. සිද්ධිය වූ දින සැමියා දරුවා අරන් මා ළඟට ඇවිත් දරුවාට මොනවද වෙනවා කියලා කිව්වා. මම දරුවාව අතට ගත්තා. ටික වේලාවකින් දරුවාගේ ඇඟ ගැහෙන එක අඩු වුණා.

ගෙදර ත්‍රීවීලරයක් තිබුණත් ඒකට පෙට්රල් තිබුණේ නැහැ. මාත් සැමියාත් දරුවාව බයිසිකලයෙන් රෝහලට ගෙන යමින් සිටියා. ටික දුරක් යන විට දරුවාව හොඳටම ගැහෙන්න පටන් ගත්තා.

ඇස් පියවුණා. ටික වේලාවකින් දරුවා දඟලන එක නැවතුණ බව මම සැමියාට කී විට ඔහු බයිසිකලයේ හැඩල් එකට ඔළුව ගහ ගත්තා.

එකපාරටම බයිසිකලය ගල් බැම්මක වැදුණා. මමත් දරුවාත් පාරේ වැටුණා. මම දරුවා ගන්න යන විට ගස්ලබු ගහකුත් දරුවාගේ ඇඟට වැටී තිබුණා. සැමියාත් පාරේ වැටී සිටියා.

පාරේ ගිය ලොරියකින් අපව රෝහලට ගෙන ආවා. සැමියා දැඩි සත්කාර ඒකකයටත් මා හා දරුවා 31 වාට්ටුවටත් ඇතුළු කළා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී සැමියා මිය ගියා.

කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.එල්.එල්. ජයසිංහ මහතා ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය අනතුරෙන් හිස් කබලට හා මොළයට හානි සිදුවීමෙන් වූ මරණයක් බව  නිගමනය කළේය. දකුණු කළුතර පොලිසියේ සැරයන් කුමාර (36929) මහතා මෙහිදී සාක්ෂි මෙහෙය වීය.

කළුතර – සුජිත් මාරියෝ